Wednesday, April 2, 2008

කන්ඩියපිට වැව



මෙම ගම පිහිටා ඇත්තේ පිටිසර නගරයක්
වු තණමල් විල නගර‍යේ නමුත් ඉතාමත්
සොභාදහමින් අලංකාර වු සුන්දර
ගම්මානයකි.



















මෙම ගම්මානයේ අරුණෝදය හා ගම තුල

සැගනු වු කුසලතා ලෝකයටම එලිදැකීමට
නැනසල ඔස්සේ අන්තර් ජාලයට පතිත විනි.





11 comments:

Unknown said...

HI,web eka harima lassanai.visheshayenma game photoes harima sith eda ganna suluy,mama Subha Pathanava

ධනුෂ්ක සපුමල් said...
This comment has been removed by the author.
ධනුෂ්ක සපුමල් said...

මේ කෙටි කතාව මම 8ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී ‍සිංහල ඇගයීමකට ඉදිරිපත් කරන්න ලියපු කෙටි කතාවක්.මේකේ පොඩි සංස්කරණයන් කරලා තමයි දැක් මගේ අන්තර්ජාල සටහනට දාන්නේ.

එදින රාත්‍රී ආහාරය නිමකොට නිමල් තම නේවාසිකාගාර සයනාගාරයට පැමිණයේ රාත්‍රී දහයට සියල්ලන්ම නින්දට ගියවිට සියල්ලන්ටම රහසේ ලිපියක් ලිවීමට සිතේ අදිටන් කරගෙනය. තමා එව වසරේදී ලංකාවේ සෑම 5ශ්‍රේණායේ සිටින්නාවූ සියළුම සිසුන්ට මුහුණදීමට සිදුවූ ශිෂ්‍යත්ව විභාගය ගැන කිහිප විටක්ම මෙනෙහි කළේය. රාත්‍රී නින්දට යන සීනුව වැදෙනු ඔහුට හොඳින් ඇසුණි. නිමල් සහ අනෙක් ළමෝ එම හඬට අවනත වී නින්දට යාම සඳහා තම තමන්ගේ ඇඳවල් වෙතට ළං විය.

සියල්ලන්ම තමන්ගේ සයන වල දිගාවී ඔවුනොවුන්ගේ ඕපාදූප කීමට පටන් ගත් අතර එහෙන් මෙහෙන ඇහෙන සිනා හඬවල් වලට කන් නොදුන් නිමල් වෙනදා මෙන් නොව නිහඬව කල්පනාවේ යෙදී සිටියේය.

එක්වරම සියල්ලලෝම නිහඬ විය. එයට හේතුව වූයේ හිටිගමන් සයනාගාරයට කඩා වදිනා ශිෂ්‍ය නායකයා පැමිණීමේ සංඥ්‍යව බව නිමල් සහසුද්දෙන්ම දත්තේය.

“කෝ මේකේ මොනිටර්!”
ඒ ශිෂ්‍ය නායකයාගේ හඬය.

අඩි සද්දයක් නැඟී එක්වරම නැවතිණ.

“ආ තමුසෙද මොනිටර්?”…
“ඇයි යකෝ තාම ලයිට් දාලා? අපි තමුසෙලට කියලා තියෙනවා නේද නමයයි කාලට ලයිට් නිවන්නයි කියලා? ආ? කතා කරපන්! මොකද ගොළු වෙලා?”
ශිෂ්‍ය නායකයා‍ගේ කට හඬ ඉතාමත් දැඩි විය.

චටාස්! පටාස්! හඬට බියවූ නිමල්ගේ දෑස් ඉබේම විවෘත විය. නිමල් දුටුවේ තම සයනාගාර නායකයාව කමිස කොලරයෙන් අල්ලාගෙන සිටින ශිෂ්‍ය නායකයාය.

නැවත වරක් දෑස් වසාගෙන ඔහුට මුනින් අතර හැරී නිදා ගන්නට සිත් වූවත් ඔහුට රාතුයේ කිරීමට වැඩ කිහිපයක් ඉතිරිවී තිබුණි. සයනාගාරයේ තත්ත්වය සන්සුන් වූ අතර සයනාගාර නායකයා ආලෝකය නිවා දැමූ අතර මුළු සයනාගාරයම නිහඬතාවයට පත් විය.

මඳ වේලාවකට පසු තම කොට්ටය යත අතපත ගා විදුලි පන්දම සොයාගෙන දල්වාගත් නිමල්, කොට්ටය යට තිබූ තනිරූලි පොත ගෙන මැද පිටුව ඉරා ගත්තේය.

පෑන අතට ගත් නිමල් මෙසේ පිටුවේ සටහන් කරන්නට විය

“නේවාසිකාගාරයේ සිට ලියමි,
බුදු සරණයි!
ආදරණීය අම්මා සහ තාත්තා වෙත,

අම්මා ඊයේ මාව බලන්න මෙහේ ආවේ නැත්තේ ඇයි? ඊයේ කෝල් එකක්වත් නොදුන්නේ ඇයි අද හරි දෙන්න තිබුනනේ… ”

තව මොනවාද ලියන්නේ… නිමල් කල්පනා කරන්නට පටන් ගත්තේය. නොදැනීම ඔහු අතීතයට දිව ගියේය…

ගමේ පාසලෙන් ඉගෙනීමට පියවර තැබූ නිමල් පළවන ශේණියේ සිටම සෑම විෂයකින්ම පන්තියේ පළමු වැනියා වීමට තරම් දක්ෂයෙක් විය. ලංකාවේ සෑම සිසුවෙකුගේම ප්‍රථම කඩඉම වූයේ 5ශේණි ශිෂ්‍යත්වයයි. නිමල් 5වසරේ ශිෂ්‍යත්වය සඳහා පන්ති ගියේද නැත, ඔහුට පන්ති යාමට අවශ්‍ය වූයේද නැත. දෙමව්පියන් කිසිදු බල කිරීමක් කළේද නැත. ඔහුට අවශ්‍ය වූයේ සතිපතා ළමා පුවත්පතත්, අසල්වැසි ළමෝ සමඟ සෙල්ලම් කිරීමටත්, රූපවාහිනිය නැරඹීමටත් පමණි.

පාසලේ වැඩ අකුරටම කළ ඔහුට පාසලේ ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලට සියයත්, අසූවත් අතර ළකුණු ප්‍රමාණයක් ලැබුණත්, සමහරක් විට ළකුණු හැට හැත්තෑව නොලැබුනා නොවේ. පන්තියේ පිරිමි ළමුන්ගේ නායකයා වූ නිමල්ට කාගේත් පුසාදය හිමිවුන අතර පන්තියේ සෑම ළමයෙක්ම ඔහුට මිතුරන් වූ අතර එයින් එක් විශේෂ මිතුරියක්ද නොසිටියා නොවේ.

ඒ ශිෂ්‍යත්ව දිනය විය. උදේ පාන්දරම නින්දෙන් පිබිදු නිමල් කෙළින්ම ගියේ තමන්ගේ මේසය වෙතය. ඔහු පාසලේදී කළ සියළුම ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර බැලුවේය. මුහුණ සෝදා ගත් නිමල්, උදේ ආහාරය ගෙන උදේ නවයයි තිහ වනවිට විභාග ශාලාවට ඇතුල්විය. ප්‍රශ්ණ පත්‍රය අතට ලැබිණ එය දුටු විට නිමල්ට එය කජු කනවා මෙන් ලෙහෙසි විය. නිමල්ය එය එදානම් සතුටට කාරණයක් විය. ඒත් අද?

ප්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර ඇති බව දැනගත් නිමල්, පාසල් නොගොස් පියා සමඟ නගරයට ගොස් අන්තර්ජාල පහසුකම් ඇති ස්ථානයකින් ළකුණු දැනගනීමට ගියේය. ළකුණු දැනගත් ඔහුගේ ඉහේ මලක් පිපුනා මෙන් විය. ළකුණු 178ක් නිමල් ලබා තිබුණි. ඔහු පාසලේ අවසන් වාර පරීක්ෂණ විභාගයෙන්ද පළමු තැන ලබාගෙන සිටි‍යේය.

අතීත ආවර්ජනයක යෙදුනු නිමලු යෙදී දිටි කාර්යයට හිත යොමා නැවත ලිපිය ලියන්නට පටන් ගත්තේය

“… අනේ අම්මේ මාව මෙහෙන් එක්ක යන්න. මට නම් අම්මයි තාත්තයි නැතුව මෙහේ ඉන්න බෑ. ඊයේ ටී ටයිම් එකේදී වැඩිපුර බිස්කට් ඉල්ලුවයි කියලා මගේ හොඳම කමිසේ කොලර් එකෙන් අල්ලලා ඉස්සුවානේ, උඩ බොත්තම් දෙකක්ම ගැලවුනා. දවසක් මගේ යාළුවාගේ ඇද හරියට හදලා නැතිව පොඩ්ඩක් රැළි තිබ්බයි කියලා එයාගේ කනෙන් ලේ එන්න ප්‍රෆෙක්ට් අයියා කම්මුලට ගැහුවා. මට නම් මෙහේ ඉන්න බෑ බෑමයි…”

එක්වරම නිමල්ගේ දෑසීන් කඳුලු කැට ගලා එන්නට විය. කදුළු බින්දු ලියුමේ තැනින් තැනට ‍වැටෙන්නට විය. එනිසා ලියුමේ තැනින් තැන බොඳවන්නට විය. වමෙම විද්‍යාලයට පැමිණීමට ලැබුනේ නිමලුගේ පෙර පිනකින් බව කලින් පාසලේ ගුරුතුමා එදා පැවසූ බව මතකයට නැඟුනු නිමල්ට සිතුනේ මේ නේවාසිකාගාරයට පැමිණියේ මහා පවකට බවයි.

නැවතවරක් කල්පනාවට පිවිසි නිමල්ගේ දැහැන බිඳුනේ නේවාසිකාගාර පාලකයාගේ කට හඬිනි…

“කවුද 6වසරේ නිමල් කියන්නේ?”
“සර් මම!” යැයි කියමින් තමා නිදා සිටි සයනයෙන් බැස පාලක තුමා ළඟට ගියේය.

“ආ, ඔයාද? මේ දැන් ටිකකට කලින් කෝල් එකක් ආවා” පාලක තුමාට ඉතිරි ටික කීමට නිමල් ඉඩ දුන්නේ නම් නැත.

“මේ දැන්? මට? කවුද කතාකළේ? අම්මාද? තාත්තාද? මොකක්ද කිව්වේ?”
ප්‍රශ්න වැලෙන් හෙම්බත්වූ පාලක තුමා…
“ඔව්, ඔයාට, පොඩ් ආරංචියක්, ඒත්,”
“ඇයි? ඒත්?” නිමල්ට ඉවසිලි නැති විය.
“ඒ…ත්…. ඔයාගේ තාත්තා… කිව්වා… ඊයේ ඔයාගේ… අම්මා…”
“ඊ…යේ මගේ අම්මා? ඔව්… ඉතින්….?”
“ඊ…යේ ඔයා..‍ගේ… අම්ම… ඔයා…ව බලන්න… එද්දී බස්… එකට… අ… අනතුරක්… වෙලා…..”
“මොනවා…!! වෙන්න බෑ….!” මේ වන විටත් නිමල්ගේ දෑසින් කඳුලු බිඳු එකින් එක වැටෙන්නට පටන්ගෙන තිබුණි.

නිමල්ට ඒ දිනය මහා මූසල දිනයක් විය. වේලාව සෙමෙන් ගෙවී ගියේය තමාගේ මිය ගිය මව ගැන සිතමින් ඔහු නින්දට ගිය අතර ඒ වන විටත් ඔහුගේ සයනය ඔහුගේ කඳුළු වලින් තෙමී තිබිණ. පැය කිහිපයකිව් ඔහු වෙත කෙමෙන් කෙමෙන් නිදි දෙව් දුව ළඟා විය.

“නිමල් මහත්තයා, තව ලෙඩෙක්”
ඒ කටහඬ රෝහල් සේවක සිරිපාලගේය. එම හඬින් අවදිවූ නිමල් දොස්තර මහතා ඒ රෝගියාට බෙහෙත් කිරීම සඳහා තම අසුනෙන් නැඟිට ශල්‍යාගාරය වෙතට පිය මැන්නේය.

නිමි.

ධනුෂ්ක සපුමල් said...

“දෙයියන්ට ඇස් අරින්ඩ අමතක වෙලා” රාම්නාත් තමාටම කියා ගත්තේය. “මේ වැස්ස නවතින්නේ නැති පාටයි. තාරිවලට ගිනි රාමෙට පායනවා. නිය‍‍‍ගෙ. මෙහාට මොර සූරන වැස්ස. අව්ව පායන්නේ අව්ව ඕනැ නැති තැනට. වැස්ස වහින්නෙත් වැස්ස ඕනැ නැති තැනට.” දෙවියන්ගේ කරුණාව ගැනත් රාම්නාත්ට සැක පහළ විය.
වැස්ස නැතත් ඔහු යා යුතුව තිබේ. කබාය ඇඟ ලා ගෙන කුඩය අතට ගත් හෙතෙම දොර ළඟට ගියේය. ඔහුට සරදම් කරන්නට මෙන් ඒ මොහොතේම වැස්ස තවත් තර වුණේය. වහලට වැටෙන වැහි වතුර පීලිවලින් පැන දිය ඇල්ලක සිරි මතු කළේය. අහස දං ඇටේට කළුවී ඇත. ගස් අතුවලට හා වහලවල් මතට එකම තාලයකට වතුර කැට වැටෙන්නට වූයේය. කිසිම ප්‍රාණියෙකු ගෙදරකින් එළියට අඩියක් තිබ්බේ නොවේ. වීදි පාලුවට ගොසිනි. මිදුලේ ඇති ගස් වැස්ස සමග ආ සුළඟට නිදැල්ලේ යන්නට දී හිස බිමට නවා ගත්තේ වතුර බිඳු පමණක් ඉතිර කර ගනිමිනි. බලාපෙරොත්තු කඩකරගත් රාමනාත්ගේ හිතට තනිකමක් ඇතුළු වීය.

ඒ කොහොම වුණත් ඔහුට එළියට යායුතු විය. එසේ නොකළහොත් බොරුවට ගෙදර නැවැතී තම රාජකාරිය පැහැර හැරියාක් වැනි, හැඟීමක් ඔහුගේ හිතට ඇතිවිය.

“මේ වගේ දවසකත් මට ගෙදරින් ඉළියට බැහැල යන්ඩ වෙලා තියෙන්නේ ඇයි. හැම කරදරයක් අස්සෙම මටත් වැඩකරන්ඩ වෙලා. අනේ අපට වෙලා තියෙන දේ. ඒ වුණාට සල්ලි තියෙන මිනිස්සු කුසීත කමට ඇඟවල් කකියන තුරුම ගුලිවෙලා නිදාගන්නව. සල්ලිකාරයො සැප විදිනව. දුප්පත්තු ඉළ ඇට එළියට එනතුරු වැඩ කරනව. මේ තමයි ලෝකෙ හැටි. රුසියාවෙ නම් දුප්පත් පෝසත් කියල බේදයක් නෑ කියනව. ඒක ඇත්තක්ද මන්ද? හැම නරක දේකටම මුල වෙන කවුරුත් නෙවේ ධනපතියො. අර කියමනක් තියෙනවනේ ධනපතියා ස්වර්ගයේ ගේට්ටුවෙන් ඇතුල් වෙන්ඩ කලින් අලියටත් ඉඳිකටු මලෙන් රිංගන්ඩ පුළුවන් කියල.” රාම්නාත් මෙසේ ධනවතුන් කෙරේ ඇති තම කෝපය පා කරන්නට වන්නේය.

පාරවල් දිගේ වතුර ගලා ගියේය. සැම තැනකම මඩ විසිරී ඇත. අඩියේ ඇලුනු මඩත් වතුර උරාගැනීමත් නිසා අවිදීමට බැරි තරමටම ඔහුගේ සපත්තු බරවී ඇත. වැස්ස කොතරම් තද වීද යත් කුඩ රෙද්ද පසාකරගෙන ආ වැහි වතුර තොප්පියත් කබායත් මත වැටෙන්නට විය.

ධර්මාරාම් පන්සල ළඟදී ඔහුගේ ඉවසීම බින්දුවටම ඇද වැටුනේය. “මේ පාරෙ මේ ටික හදන්න නගර සභාව මෙච්චරකල් ගත්තෙ අහවල් දේකටද මන්ද?” ඔහු තමාගෙන්ම අසා ගත්තේය. “උන් දන්නේ මිනිස්සුන්ගෙ සල්ලි සූරගන්ඩ විතරයි. සල්ලි එකතු කර ගන්ඩ නම් හරිම උනන්දුයි; ඉක්මන් ඒත් පාරෙ මේ ටික හදන්ඩ ගිය කල්. පාර ‍හාරල තුන් දවසක් වුණා. ඒත් වැඩ එතැනමයි. දැන් හැම තැනම මඩ. ආඳ පිට වගේ. මිනිස්සුන්ට මොන කරදරයක්ද? එක්කො වතුර නෑ. නැත්නම් ලයිට් නෑ. ඒත් කතා කළොත් නම් ටවුමෙ මැනේජර්ල”

රාම්නාත් කාර්යාලයට යද්දී එහි තිබුණේ අඩ අඳුරකි. විදුලි ලාම්පුව තමා දෙසට හරවාගත් ඔහු කුඩය නවා මුල්ලකින් තැබුවේය. අනතුරුව කබාය ගැලවූ ඔහු එහිවූ වතුර බිංදු ගසා දමා බිත්තියේ වූ කොක්කේ එල්ලුවේය. මොහොතක් ගත වූයේ නැත. කුඩයෙන් ගලා ආ වතුර එතැන පුංචි විලක් සැදුවේය.

ඊළඟට පුටුවේ වාඩි වූ රාම්නාත් ලිපි ගොනුවක් අතර ගත්තේය. ඒත් හදිසි වැඩක් නැත. ආණ්ඩුවේ වැඩවල හැටි මෙහෙමය. කළ යුතු නිශ්චිත වැඩක් ඇතත් නැතත් වැටුපක් ලැබෙන්නේ නම් නියමිත වේලාවට පුටුවේ සිටිය යුතුය. විශ්මයජනකය, හාස්‍ය ජනකය. ඒත් ඉහළ සිට පහළටම එහෙමය. මෙවැනි දවසක කාර්යාලයට ආවත් නාවත් වෙනසක් නැත. මෙවැනි තැනක වහලෙකු වෙනවාට වඩා දමා ගසා යන්නට ඇත්නම් මොනතරම් සැහැල්ලුවක්?

රාම්නාත් නිකට මේසය මත තබා දෑත දිග හැර මුමුනන්නට වුයේය. වහාම එන්නැයි කියමින් ඔහු ඇයට ලිපියක් යැව්වේය. ඒත් තවම ඇය ආවේ නැත. පිළිතුරක්ද නැත. ගෑණුන්ට තමන්ගේ ගෙදර තරම් තැනක් නැත. ජූනි පමණක් නොව ජූලිත් ගෙවී යන්නට ඔන්න මෙන්නය. ඇයට ආපසු එන්නට වුවමනාවක් නැති ගාණය. ඉක්මනින්ම ආ යුතු බව ඇය ඒ දිනවල දිගින් දිගටම ලිව්වාය. ඒත් ආවේ නැත. දැන් ලියුම්ද නැවතී ඇත. ඒ ඇය තමන්ගේ ගෙදරට ආදරේ නැති නිසාය. මේ තරම් කාලයක් ලිපියක් නැත්තේද ඒ නිසාය. රම්නාත්ට සිතුනේ එසේය.

“හිටි හැටියේම ඇගේ ලියුම් නැවතුනේ ඇය අසනීප වුණ නිසාවත්ද?” දෑත් පිරිමදිමින් නැගී සිටි රාම්නාත් කාමරය පුරා ඇස යැව්වේය. ඇයට අසනීපයක් නම් ඇගේ පියා ලියුමක් එවනු ඇත. කොහොම වුණත් මේ කඳුකර මිනිස්සු අපල උපද්‍රවයකදීවත් එවැනි දෙයක් කරන්නට නොදන්නා කොටසකි. අසනීපයක් නම් එය ඉහවහා යනතුරු ඔවුහු ඒ ගැන නොදනිති. නැත්නම් නොසලකා හරිති. නොසැලකිල්ල කෙලවර වන්නේ නිස්කාරණ මරණ වලිනි.

රාමාගේ ශරීර සෞඛ්‍යය ඒ තරම් හොඳ නැත. ඇයට ඉක්මනින්ම ප්‍රතික්ෂාව වැළදෙයි. උණ ගනී. වරක් ඇයට උණත් සමග පපුවේ අමාරුවක් ආවේය. “මම එයාව හොඳ දොස්තර කෙනෙක් ළඟට අරන් යන්න කොච්චර උත්සාහ කළාද? ඒත් බැරිවුණානෙ. එයාට ප්‍රතිකාර ඕනෑ. අනික එයත් එයා ගැනම බලාගන්නත් එපායැ. මම කොච්චර කිව්වද ඔය සැර ජාති, දුරුමිරිස් වැඩියේ කන්ඩ එපා කියල. ඇහුවද? ඉතින් මම මොනව කරන්ඩද”

රාම්නාත්ගේ සිතුවිල හදිසියේ වෙන අතකට හැරුනේය. ගෙදර වැඩකාරය රාමේ හැම තිස්සෙම කතාව විතරයි. වැඩ කරන්නෙ නෑ. ඌව ගෙදර අරින්ඩ ඕනෑ. මම ඉන්න වෙලාවට ඌ පේන්ඩ නෑ. වළං පිඟන් හෝදපුවාම හැම තැනම ඉඳුල් විසිකරනවා. මූ වළං පිඟන් හරියට හෝදන්නේ නෑ කියල බාජිත් කීප වතාවක්ම කිව්ව. හරියට එයත් පිරිසදු මිනිහ වගේ මම කී වතාවක් බාජිටත් කිව්වද පිරිසිදුවට ඉන්ඩ කියල. සබන් ගෙනත් දුන්න නාගන්ඩ කියල. ඒත් නාගන්නේ නෑ. පුරුද්ද අත් ඇරගන්ඩ බැරි අපිරිසිදු මිනිහ. එයා ආපුගමන්ම මම මුන් දෙන්නවම පන්නල දානව.

ඔරලෝසුවේ හවස හතර වදිනවිට පුටුවෙන් නැගී සිටි රාම්නාත් කබාය ඇඟලාගෙන කුඩයද රැගෙන කාර්යාල‍යයෙන් එළියට ආවේය. වැස්ස තුරල් වී තිබුණත් අහස තවමත් දං ඇටේට කළුවරය. මෙතෙක් ගෙවල් ඇතුලට වැදී සිටි ගෑණු මිනිස්සු එකා දෙන්නා බැගින් දැන් වීදිවලට බැස ඇත. රාම්නාත්ට වෙහෙසක් දැනිණි. ගෙදර ගිය වහාම හොඳට පොරෝගෙන නිදාගන්නවා යැයි ඔහු තීරණය කළේය. ඒ සමගම ඉදිරියෙන් මිතුරෙකු එනු පෙනිණි. නොසතුටෙන් මෙන් කල්පනා කළේය.

රාම්නාත්ගේ දෙවුර මත දෑත තැබූ මිතුරා “ඔෆීස් ගිහිල්ල වගේ” යි ඇසුවේය.

මේ වෙලාවේ ආපහු එන්නේ කාර්යාලයට ගොස් බව කවුරුත් දනිති. ඉතින් ඒ ගැන තවත අහන්නේ කුමකටද?

දවසම වැස්ස නේද? මිතුරා යළි ඇසුවේය. රාම්නාත්ගේ කේන්තිය නිම් හිම් නැති විය. “මේ පාරමැද්දේ ඉඳගෙන මොනවද මේ පුහු මෝඩ කතා මේවාට කන්දෙමින් කාලය කා දැමිය යුතු නැත. රාම්නාත් නිහඬවම සිටියේය.

අවසානයේ ඔහු මිතුරාගේ කරදරයෙන් මිදී ගෙදර ආවේය. ඔහුට අත වූ කුඩෙන් සේවකයාට තලන්නට තරම් සිත් විය. රාම්නාත් ගේ ඇතුලට ගියේ කේන්තියෙන් පුපුරු ගසමිනි. ගෙට ගිය ඔහු මේසය මත වූ විදුලි පුවත දුටුවේය. ඒ සමගම ඔහුට සේවකයා ගැන තවත් කේන්ති ගියේය. ඔහු සැළෙන අතින් යුතුව විදුලි පුවත දිග හැරියේය. එය බිරිඳගෙනි. පසුව දා ඇය මෙහි එන බව එහි සඳහන්ව තිබිණි.

විදුලි පුවත ආවේ කොහෙන්දැයි සේවකයා දනී. “නෝන කොයි වෙලාවටද එන්නේ ඔහු ඇඹරෙමින් අසුවේය. රාම්නත්ගේ මුහුණ එක වරම ප්‍රසන්න විය. “හෙට” ඔහු පිළිතුරු දුන්නේය.

“එයා එන්න කලින් ගේ හොඳට සුද්ද කරල දාන්ඩ ඕනෑ. එහෙම නැත්නම් එයා කියාවි උඹල මාස ගණනකින් ගේ අතුගාලා නැහැ කියල”“බලනව දූවිලි තට්ටුව හොඳට පිහදානව” යි කියමින් ඊළඟට ඔහු තම කාමරයට රිංගුවේය. ඔහු සේවකයාට එසේ කියමින්ම මේසය මත ඇඟිල්ල සේවකයාට පෙන්නුවේය.

ටික වේලාවකින් පසුව ඔහු යළිත් සේවකයාට කතා කළේය. “බලනව අල්මාරිය තියෙන්නේ කාමරයේ මැද්දෙනෙ. ඒක හරි නෑ. අල්මාරිය කාමරේ අයිනකට කරන්න ඕනෑ. පුටුවයි මේසෙයි ඇඳ ළඟට කරන්න ඕනෑ. පරෙස්සෙමන් ඕකෙ එක පැත්තකින් අල්ලපන්” ඔහු සේවකයා රාමෙට අරණ කළේය.

“හෙට උදේට මස් ටිකක් ගේනව” හවස් වරුවේ රාමනාත් බානුට කීවේය. “උඹ මේ එක ජාතියෙම එළවළු ගෙන්නේ වෙන එලවළු නැද්ද කඩේ” ඔහු මහලු සේවකයාගෙන් අසුවේය. සේවකයා බිම බලාගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.

පසුදා උදෑසන අවදි වූ රාම්නාත්ට තමන්ගේ ඇඟට අමුතු ශක්තියක් මෙන්ම සැහැල්ලුවක්ද දැනෙන බව හැගිණි. අහසේ වලාකුළු නොවීය. කඳු මුදුන් මත රත් පැහැ ඉර එළිය වැතිරී තිබිණි. “අටේ කෝච්චිය එන්නේ කීයටද?” ඔහු සතුටු මුහුණින් යුතුව සේවකයාගෙන් ඇසීය.

නෝන එන්නෙ කෝච්චියෙද? බස් එකේ අවානම් ඉක්මන් නේද? සේවකයාගේ පිළිතුර එසේ විය.

රාම්නාත් ප්‍රති පිළිතරු දෙන්නට ගියේ නැත. ඇය එන්නේ කෙසේද? ඒ ගැන විදුලි පුවතේ සඳහනක් නැත. ඇය බසයෙන් එන්නේ නම් හමුවීමට කොතැනකට යා යුතුද? මද වේලාවක් කල්පනා කළ හෙතෙම සේවකයාට කතා කළේය. “රාමේ උඹ ගිහින් පාරෙ හිටපන්. එයා බස් එකේ නාවෙත් මම කෝච්චි ස්ටේසමට යන්නද කෝච්චිය දොළහටනෙ.

“එහෙමයි සර්” සේවකයා පිළිතුරු දුන්නේය.

“ඔය පෝච්චියට අලුත් මල් ටිකක් දාපං. ඔය මල් දැන් ඕකෙ දවස් ගාණක් තිස්සෙ උඔලට ඕවගෙ දෙයක්වත් තේරෙන්නේ නෑනේ.” සේවකයා යන්නට සැරසෙත්ම රාම්නාත් සේවකයාට අණ කළේය.

“මොනවද ගෙනාපු එළවළු ජාති” කුස්සියට ගිය රාම්නාත් බානුගෙන් ඇසවේය. “අද ටිකක් පහුවෙලා උයපං. නෝන කෝච්චියේ ආවොත් දෙළහ පහුවේවි. කලින් ඉව්වොත් කෑම හීතල වේවි.

අනතුරුව නාන කාමරයට වැදී හිතේ හැටියට නාගත් රාම්නාත් කාමරය මැදට පැමිණ කෙලින් සිට ගත්තේය. “දැන් මොනවද කරන්නේ” තමාගෙන්ම අසා ගත්තේය.

තවත් ටික වේලාවකින් කබායද ඇඟ ලා ගත් ඔහු බස් පාරට දෙසට පිය මැන්නේය. පාර අද්දර ගල් පොත්තක් මත ඇන තියා ගෙන සිටි රාමේ තම ස්වාමියා එනු දැක නැගී සිටියේය.

“තවම ආවේ නැද්ද” රාම්නාත් සේවකයාගෙන් ඇසුවේය. “බස් නම් ගොඩක් ආව. ඒත් නෝනෙ නෑ.” රාමෙ පිළිතුරු දුන්නේය.

තවත් ටික වේලාවක් එතැනට වී පාර දෙස බලා සිටි රාම්නාත් ඇය බසයෙන් නොඑන බව තීරණය කළේය. ඊළගට සේවකයා ඇමතූ ඔහු “මේ බලපං දැන් ගෙදර ගිහින් රේන්කෝට් එකයි, කුඩෙයි අරගෙන කෝච්චි ස්ටේසමට වරෙන්. මම තව ටික වෙලාවක් මෙතැන බලල එතැනට යනවා.

රාම්නාත් තම දෑස් ඈතට යොමු කළේය. යළිත් වාළාකුළු එකට එකතුවේ. ඒ වැස්සක පෙරනිමිතිය. ඔහු දුම්රිය පොළ දෙසට පියමැන්නේය. දුම්රිය පොළ හිස්ය. ස්ථානාධිපතිවරයා කාර්යාලයේ වැඩක යෙදී සිටී. වේදිකාවේ කවුරුත්ම නැත. මඳ වේලාවක් බංකුව මත වාඩිවී සිටි රාම්නාත් වේදිකාව දිගේ ඉහළට ඇවිදගෙන ගියේය. දුම්රිය පොලේ බිත්තියේ එල්ලා තිබූ වෙළෙඳ දැන්වීම් ඔහුගේ නෙත ගැටිණි. ඔහු ඒවා එකින් එක කියවන්නට විය.

“ඔබට ලෝකය දිග හැර බැලීමට අවශ්‍යද එසේ නම් කියවිය යුත්තේ ඉන්දියාවේ වැඩිම අලෙවිය ඇති “ද ස්ටේට්මන්ට්” පුවත්පතයි.”

ඊළඟට රෝස පැහැති කම්මුල් සහිත නිරෝගී මහල්ලෙකුගේ පින්තූරයක් සමග “ ළදරුවන්ට, මහල්ලන්ට, රෝගීන්ට ශක්තිවඩන පානය හෝර්ලික්ස්” යන පාඨය ලියා තිබිණි. ඊළඟ “වෝක්ස්” බීර දැන්වීමයි. දැන්වීම් කියවීම හමාර කළ ඔහු දුම්රිය පොළේ ඔරලෝසුව ළඟට ගියේය. ඔහු එහි වෙලාව සමග තමා අත් ඔරලෝසුවේ වලාව සසඳා බැලුවේය. ඔහුගේ ඔරලෝසුව විනාඩි පහක් වැඩිය. නැවත වරක් බංකුවේ ඉදගන්නට ප්‍රථම ඔහු වේදිකාව දෙස යළිත් බැලුවේය.

වේදිකාව ටිකෙන් ටික මගීන්ගෙන් පිරෙන්නට විය. සීනුව නාද කෙරිණි. ඒ දුම්රිය එන බව අඟවන්නටය. රාම්නාත් බංකුවෙන් නැගිට්ටේය. ඒ සමගම මෙහෙකාරයා රාමේ කුඩයක් වැහි කබායත් රැගෙන ආවේය. දුම්රියද ආවේය. රාම්නාත්ගේ දෑස් එකවරම කවුළුවෙන් පිටිතට ඔළුව දාගෙන ආ බිරිදගේ රුව ග්‍රහණය කරගත්තේය. ඇය දුම්රියෙන් බසිත්ම ඔහු ඇය ළඟට දිව ගියේය.

සේවකයාට බඩු පොදි උස්සාගෙන එන්නට ඉඩහැර ජෝඩුව දුම්රිය පොළෙන් එළියට පැමැණියහ. ඒ සමගම ධාරානිපාත වාස්සක්ද වහන්නට වුයේය. වැහි කබාය ඇඟලාගත් රාම්නාත් කුඩය ඉහළා එය බිරිදගේ හිසට ඉහළින් ඇල්ලුවේය. “බලන්ඩ මේ වහින්නේ ඔයාව පිළිගන්‍ඩ. ඔයා මෙහාට එනතුරුම පොදක්වත් වැ‍ටුනෙ නෑ. ඔයත් එක්කම වැස්ස ආව වගේ” ඔහු ගීතයක් මෙන් තාලයට කියාගෙන ගියේය.

“ඔයා තෙමෙයි එන්ඩ කුඩේයටට, හදිස්සි වෙන්ඩ එපා බලාගෙන බලාගෙන. පාර ලෙස්සනව. මේ මිනිස්සු පාර ලොකු කරගන්ඩ කියල පස් කපල තියෙන්නෙ. ඒත් දැන් පාර තවත් පටුවෙලා. මිනිස්සු නම් දවල් රෑ නැතුව වැඩ කරනව ඒත් මේ පාර හදන්න තව කී දවසක් යයිද මන්ද? බලාගෙන බලාගෙන ලෙස්සයි. මේ මෙහෙ මෙහෙ මගේ අත අල්ල ගන්ඩ” ඔහු කියාගෙන ගියේය.

ඒත් එක්වරම ලිස්සා ගිය බිරිද මඩේ වැටිණි. රාම්නාත්ට හොඳටම හිනා ගියේය. ඊළගට ඔහුද පය ලිස්සා මඩේ ඇද වැටිණි. කුඩය අතින් ගිලිහී ගොස් ළඟ තිබුණ වැටේ පැටලුනේ. “හොඳ වැඩේ හොඳ වැඩේ මට හිනාවුනාට” කියමින් බිරිඳද හිනාවෙන්නට වන්නීය. ඒත් මොහතෙකින් සිනාව නවතා දමා ඔහු ළඟට කිට්ටු වුණු ඇය “ඔයාට තුවාලදැ” යි ඇසුවාය.

“මට නම් තුවාල නැහැ. ඒත් කවුරුවත් දැක්කද දන්නෙ නැහැ” රාම්නාත් නැගී සිටිමින් වටපිට බලමින් ඇසීය. බිරිඳද ඔහු සමඟම වටපිට බැලුවාය. අහළ පහළ කවුරුත් නැත. ඊළඟට දෑතින්ම තම සැමිය බදාගත් අය පාර දිගේ සීරුවෙන් පහළට ගියාය.

ගෙදර ගිය ඇය මෙහෙකරුවා ගෙනා ඇගේ බඩු පොදි එකින් එක පරීක්ෂා කරන්නට වූවාය. මෙහෙකරුවා තවමත් දොරකඩය. ඔහුගේ මුහුණේ සිහින් සිනාවකි. “රාමේ හොඳට වැඩකරනවද” ඇය බිම බලාගෙනම සැමියාගෙන් ඇසුවාය.

“මිනිහ හොඳා. හැමදෙයක්ම හොඳට කරනව හැබැයි රෑට මොනව කරනවද කියන්ඩ නම් මම දන්නේ නැහැ” සිනාසෙමින් ඇසක් ඉඟිමරමින් රාම්නාත් පිළිතුරු දුන්නේය. මෙහෙකරුවා දත් තිස් දෙකම පෙනවමින් සිනාසෙන්නට වන්නේය.

එළියේ වැස්ස තවමත් තදින් වසී. සේවකයා කුස්සිය දෙසට ගියේය. බිරිඳ දිය නෑමට සැරසේ. ඇය බෑගයකින් රෙදි කීපයක් එළියට ගත්තාය. රාම්නාත් ඇය ළඟින්ම සිටගත්තේය. ඔහු දෙස හිස හරවා බැලූ ඇය “ඔයා අද ඔෆීස් යන්නේ නැද්ද” යි ඇසුවාය.

“අද ඔෆීස් යන්න. මම නෙවේ අද ඔෆීස් යන්නෙ” සර්පිනාවක තත් පිරිමදින්නාක් මෙන් ඔහු තම අතැගිලි බිරිඳගේ කෙස් අතර ඒ මේ අත යවමින් කීවේය.

බිරිඳ නාගන්නට ගියාය. රාම්නාත් ඇඳ උඩ ඉඳ ගත්ත‍තේය.

බිරිඳ කෝප්පයෙන් වතුර නාගන්නා හඬ ඔහුගේ දෙසවනේ පතිත වේ. ඒ හ‍ඩේ ඇත්තේ අපුරු තාලයකි. බිරිඳ ගේ ඇඟ දිගේ පෙරෙන වතුර බිම වැටී ගලා යන්නාක් මෙන් ඔහුගේ හදවතේ ප්‍රීතියද දෝරේ ගලන්නට වන්නේය.

ධනුෂ්ක සපුමල් said...

වරදට දඩුවම




“ඔන්න ඔය පැළ ඉන්න තව ටිකක් එහාට කරලා හිටවපන්”

“නෑ නෑ මෙතන තමයි ඉස්සර වෙලා වැට තිබුණේ”

“එහෙම හරියන්නෙ නැහැ යකෝ. ඔතන තිබිච්ච වැටක් නැහැ. තව අඩියක් ඉස්සරහට කරලා හිටෝපන්.”

“එහෙම කො‍හොමද හරියන්නේ. එතකොට මගෙ ඉඩමෙන් කොච්චර උඹට යනවද?”

“උඹට පිස්සුද යකෝ. තව අඩියක් ඉස්සරහට කරපන්. නැත්නම් මටයි පාඩු. මට බැහැ මගේ ඉඩම උඹට දෙන්න”

“අඩියක් නෙවෙයි අගලක්වත් මම එහාට ගන්නේ නැහැ. පුළුවන් දෙයක් කරපන්. හරිද?”

සේදිරිස් සාදිරිස්ගේ අතේ තිබුණ අලවංගුවේ එල්ලිලා කියනවා.

සේදිරිස් සහ සාදිරිස් අයියලා මල්ලිලා. තාත්තා මිය ගියාට පස්සෙ ඉඩම අයිති වුණේ ඒ දෙන්නට. අම්මා ජීවත්ව සිටියෙත් නැති නිසා ඉඩම සම සමව හිමිවුණා පුතාල දෙන්නට. අක්කර හතරක් වෙන ඉඩමේ පස බොහොම සශ්‍රීකයි. කොස්, පොල්, දෙල්, පුවක් වගේ ගස් කොළන් හොඳට වැවිල තිබු‍ණා.

“මල්ලී අපි මේ ඉඩම මොකටද හවුලේ බුක්ති විඳින්නේ. මිනිම්දෝරුවෙක් ගෙනල්ලා දෙකට කඩා ගනිමු. එතකොට අපි නැති කාලෙට අපේ දරුවෙකු‍ටවත් ප්‍රශ්ණයක් නැහැනේ.

අයියා යෝජනා කළා. මල්ලී එකඟවුනා.

ඒ වෙනකොට අම්මා මියැදිලා තුන්මාසේ දානේ දීලා ඉවර වුණා විතරයි.

දවස් කිහිපයකට පස්සේ මිණුම්දෝරුවෙක් ගෙනල්ලා ඉඩම සමසමව දෙකට බෙදා ගත්තා. ඒ වෙලාවේ කවුරුවත් විරුද්ධත්වය පෑවේ නැහැ. ඒ වුණත් පරහකට තිබුණේ සේදිරිස් මෙච්චර කල් බුක්තිවින්ද කොස්ගහ මල්ලිට අයිතිවුණු එකයි. ඔහු හිතා ගෙන හිටියේ ඒක තමුන්ට ලැබෙයි කියලා. සේදිරිස්ට කොස් ගහ අයිති නොවුණේ එක කෙස් ගහෙන්. තව එක කෙස් ගහක් එහාට වුණානම් මුළු කොස්ගහම අයිති වෙන්නේ සේදිරිස්ට. දැන් මේ කෙස් ගහ කොස් ගහට ලොකු දෙයක් වෙලා.

සේදිරිස්ට මේ සිද්ධ වෙච්ච දේට හරිම හිතට අමාරුයි. මේ ගහ හොඳට පල දරනවා. කොස් ගෙඩිත් හරි ලොකුයි. කොසුත් හොඳයි. හැරත් ගහ කපලා විකුණා ගත්තොත් මේ කාලේ හැටියට විසි තිස්දාහක්ම ගන්න පුළුවන්.

ඒ නිසා අයිය හිතාගත්තා ටික කාලයක් යන කොට මොන උප්පරවැට්ටියක් දාලා හරි කොස් ගහ තමුන්ට අයිති කර ගන්න. ඒ ගැන එයා තමන්ගේ බිරියත් සමග සාකච්ඡා කලා.

“අපේ ඉඩමට එක කොස් ගහක්වත් ආවේ නැහැ. ගස් තුනක්ම මල්ලිට ගියේ. ඔය ගහවත් අපිට අයතිවුණානම් හොඳයි.”

ඇය සැමියා දැනුවත් කලා.

සාදිරිස් රැකියාව කලේ ගමෙන් දුර පළාතකයි. ඔහු ගෙදර ආවේ සති අන්තවල පමණයි. සේදිරිස් කල්පනා කලා මල්ලි නැති දවස්වල මේ ගස අයිති කර ගන්න මොනවා හරි කරන්න ඕනැය කියලා.

සේදිරිස් ඉඩමේ මායිමේ පැළඉණි වැටක් හිටෙව්වා. එයා පැළඉණි හිටෙව්වේ කොස් ගහ තමුන්ගේ ඉඩමට එන විදියටයි. මල්ලී නිතරම ගෙදර නැති එක පහසුවක් වුණා තම සැලසුම ක්‍රියාත්මක කරන්න.

සාදිරිස්ගේ බිරිය වෙන ගැහැණු වාගේ අයිය කරන දේට එරෙහි වෙන්න ගියේ නැහැ. පැළඉණි වැට ගහනවට විරුද්ධ වුණේ නැහැ. ඉඩම බෙදන විට කොස් ගස තමුන්ට අයිති වූ බව කියන්න ගියේ නැහැ. වෙන ගැහැණු වගේ කෙස්වලු පටලව ගන්න, බැණ අඩගහගන්න නොගොස් කිසිවක් නොදන්න ලෙස සිටියා.

ඒ කොහොම වුණත් සති අන්තයේ ගෙදර ආ සාදිරිස් අයියා කර තිබෙන වැරදි වැඩේ දුටුවා. ඔහුට තවත් ඇහැ කණ පියාගෙන ඉන්න බැරිවුණා. ඔහු කෙලින්ම ගිහිල්ලා අයියාට කිව්වා පැළඉණි වැට නියම විදියට මායිමේ හිටවන්න කියලා. ඒත් සේදිරිස් තම මල්ලිගේ ඉල්ලීම තුට්ටුවකට මායිම් කළේ නැහැ.

සේදිරිස් ගේ බිරිය ඔක්කොටම ඉහළයි. සැමියාගෙන් ගැලවුණත් ඇයගෙන් බේරෙන්න බැරිවුණා.

“උඹලා මිනින්දෝරුවට පගාව දීලා කොස්ගහ උඹලගේ පැත්තට එන්න ඉඩම බෙදා ගත්තා. ඔය කොස්ගහ ඔච්චර කල් බුක්ති වින්දේ අපි. ඒ හින්දා අපටයි අයිති”

ඇය නීතිය පෙන්වා දෙන්න ඉදිරිපත් වුණේ හරිම අසාධාරණ විදියට. ඇයගේ කටත් සැරයි. එයත් එක්ක වාද කරන්න පිරිමියකුටවත් බැහැ.

“ඔච්චර කල් උඹලා ඕක කෑවට මගේ ඉඩමෙයි තිබිලා තියෙන්නේ. ඒකනේ බෙදුවට පස්සේ මට අයිතිවුණේ.”

සාදිරිස් ඇත්ත පහදලා දුන්නට සේදිරිස්ගේ පවුලෙ කිසි කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ.

“ඒ වුණාට ඔය බෙදිල්ල අපි පිළිගන්නේ නැහැ”

ඔවුන් කිව්වා

“හොඳයි එහෙම නම් වෙන මිනින්දෝරුවෙක් ගෙනල්ලා අපි ආපහු පාරක් ඉඩම බෙදමු.”

සාදිරිස් යෝජනා කලා.

“අපිට ඕවට සල්ලි නැහැ. උඹලට ඕනැනම් දෙපාරක් නොවෙයි තුන් හතර පාරක් බෙදාගන්නතත් කමක් නැහැ.

සේදිරිස් පැවසුවා.

“හැබැයි කවුරු ගෙනත් බෙදුවත් කමක් නැහැ. කොස් ගහ අපේ පැත්තට එන්න ඕනෑ. නැතිනම් අපි පිළිගන්නේ නැහැ.”

සේදිරිස්ගේ බිරිය එසේ අඩුතැන සම්පුර්ණ කලා.

“ඉතින් ආයි සල්ලි වියදම් කරලා බෙදුවත් වැඩක් වෙන්නේ නැහැනේ. උඹලට කොස් ගහ ඕනෑනම් ඉතින් අයිතිකරගෙන බුක්ති විඳපල්ලා. අපි මොකටද ඔය කොස් ගහක් හින්දා සහෝදරකම් නැති කර ගන්නේ.”

සාදිරිස් අන්තිමට කිව්වේ ඒ විදිහට. එයා කල්පාන කළේ ගහ මල්ලිට දීලා හරි මේ කරදරයෙන් බේරෙන්ඩ පුළුවන් වුණොත් හෙඳයි කියලා. මොකද අපි නොමැරෙන්න ඇවිල්ලද? එයාට මදිනම් ගත්ත දෙන්. සාදිරිස් තීරණය කලා.

“ඒ ගොල්ලන්ට මදි නිසානේ ගත්තේ. ඔහේ ගත්ත දෙන්. ඔයා හෙම මල්ලිලත් එක්ක රණ්ඩු වෙනවා නොවෙයි.”

රැකියාවට යන්නට පෙර සාදිරිස් බිරියට දැනමුතුකම් දුන්නා.

“මම ඔය රණ්ඩු සරුවල්වලට කොහොටත් කැමති නැහැ. ඔහේ ගහ අයිතිකර ගත්තෙ දෙන්.”

ඇය පැවසුවා.

මල්ලී තමුන්ට යවවෙලා කොස් ගහ දුන්නැයි කියලා සේදිරිස් හිතුවා. එහෙම හිතලා ජයග්‍රහණයක් විදියට උදම් ඇනුවා. ගහේ කොස් අවුරුද්දෙම කාලා ඉවර කරගන්න බැහැ. කොච්චර වාසියක්ද?

ඊට පස්සේ අයියලා මල්ලිලා කොස් ගස ගැන කිසිම වාද විවාදයකට ගියේ නැහැ. අයියා පැලඉණි වැට තවත් ශක්තිමත් ලෙස ගැහුවා.

ඒ වාරේ කොස් ගහේ ගෙඩි හොඳට පලගත්තා. මුළු කඳ අතු ගෙඩවලින් පිරිලා. සාදිරිස්ලා එක ගෙඩියක්වත් කඩන්න ගියේ නැහැ. දැක්ක නොදැක්ක ගානට හිටියා. සේදිරිස්ලා කොස් කැඩුවා. සමහරක් වික්කා. සමහර ගෙඩි ඉදිලා ගියා. ඉදුණු වරකා සුවඳ මුළු වත්තෙම පැතිරිලා ගියා. සාදිරිස්ලට හරි සතුටුයි ගහේ පලදාව වැඩිවෙච්ච එක ගැන.

“මේ පාර නම් අපේ වාසානාවට ගහේ මෙච්චර ගෙඩි හැදුණේ.”

සේදිරිස්ගේ බිරිය උදම් ඇනුවා

“මෙච්චර පලදාව තියෙන ගහක් කොහොමද අනුන්ට දීලා ඉන්නේ.”

සේදිරිස් ‍බිරිය සමග පැවසුවේ සිනහසෙමින්.

“අපි කොස් ගෙඩි දෙක තුනක් අයියලටත් කඩා ගන්නා කියමුද?මෙච්චර කොස් හැදිච්ච එකේ”

අයියා යෝජනා කලා.

“අපොයි එපා ! අපි එහෙම කොස් කඩා ගන්න කිව්වොත් ඒ ගොල්ල හිතයි ඒ ගොල්ලන්ටත් උරුමෙ තියෙන හින්දා දුන්නය කියලා. ඒක ඉස්සරහට නරකට හිටින්න පුළුවන්.”

ඇය සැමියාගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේ එකවරමයි. ගෙදර කවුරුත් සතුටෙන් හිටියේ මුළු කොස්ගහේම උරුමෙ තමන්ට ලැබුණු නිසායි.

ටික දවසකට පස්සේ දිගටම වැස්ස පටන් ගත්තා. එක දිගටම නාකපන වැස්ස. ගස්වල අතු ඉති අඹරවා ගෙන කුණාටු හැමුවා. කොස් ගහේ විශාල අතු සුළගත් එක්ක නටන්න පටන් ගත්තා. ඒවා කුණාටුව සමග ඉගිලෙන්න හදනවා වාගෙයි. එදා දහවල් පටන් ගත් වැස්ස මහ රෑ වෙනතුරු එක දිගටම ඇද හැලුණා. තුරල් කරන පාටක් නම් නැහැ. රෑ වනවිට වැස්සත් එක්ක කුණාටුව තව වැඩිවුණා. සාදිරිස්ලගේ මෙන්ම සේදිරිස්ලගේ ගෙදර අයත් දොර ජනෙල් වහගෙන නිදා ගත්තා.

එක පාරටම අහස කඩාගෙන වැටුණ වගේ විශාල ශබ්දයකින් සාදිරිස්ලගෙ ගෙදර අය මහ රෑ අවදිවුණා. එදා සාදිරිසුත් ගෙදර හිටිය දවසක්. ඒ ගොල්ල වැස්ස ගැනත් බලන්නේ නැතුව එළියට පැන්නේ මොකක්ද වුණේ කියා බලන්නයි. අනේ දෙවියනේ වෙච්ච විනාශයක් ! මායිමේ තිබුණු ගෙඩි වලින් පිරුණු විශාල කොස් ගහ සේදිරිස්ලගේ ගෙය මතට කඩාගෙන වැටිලා.

සාදිරිස් කෑගසමින් බිරිය සමග සේදිරිස්ගේ ගෙදර දෙසට දිව්වා. ඔක්කොම ඉවරයි. සේදිරිස්ගේ මුළු ගෙයම බිමට සමතලා වෙල. විශාල ජයග්‍රහණයක් ලැබුවා වගේ පාළාතම වාසාගත්ත කොස්ගහ බිඳ වැටුණු නිවෙස මත විරාජමාන වුණා.

ඔක්කොම ගෙට යට වෙලා.

සාදිරිස් සහ බිරිය සේදිරිස්ලා සොයන පිරිස අතර නායකත්වය ගත්තා.

ධනුෂ්ක සපුමල් said...

ආදරය වේදනාකාරීද?


සම්බම්ධතාවයකදී ඇතිවන වේදනාව්න්ට වඩා බලපාන හේතුව හිතේ ඇති වන බයයි. ආදරයේ වේදනාව විඳ නැත්තේ කවුද? නැතිනම් එය ප්‍රතික්‍ෂේප වීමේ වේදනාවක්ද? එම වේදනාව ආදරය නිසාමද නැතිනම් අනුන්ගේ සතුටකට තමන්ගේ සතුට කැපකිරීම නිසා ඇතිවීද යන්න අවබෝධ කර ගැනීම වැදගත්.


ආදරයේ වේදනාව යනු ආදරයේ ප්‍රති විපාක ද වේ. සෘණ සිතිවිලි ආදරයේම කොටසක් බව සමහරු සිතති. “ආදරේ හැටි ඔහොම තමා” කියා කීවත් එය එසේ නොවන බව විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයා ගෙන ඇත.

ආදරය වේදනාකාරී නොවේ. එය පුදුමාකාර හැඟීමකි. අපට දැනෙන වේදනා, සුසුම් හෝ වෛරයන් මතුවන්නේ ආදරය නිසා නොවේ. එය අප තුලින්ම මතුවන්නේ අප සිතේ පහල වන ව්‍යාකූලතා, බිය, ආශාවන්, කුතුහලය, ප්‍රතික්‍ෂේප වීම, විස්වාශය බිඳීම, තරහ, ඉරිසියාව ආදිය නිසාය. අප ඒ හැගීම් ආදරය සමග පටලවා ගන්නේ මන්ද?

සමහරවිට අපට අපහසුතා ගෙනදෙන මේ හැඟීම් බොහෝවිට අපගේ ආදර සම්බන්ධතා කෙරහි බලපායි. අපගේ ප්‍රමුඛ සඹඳතා අපට වැදගත් වන නිසා මේ සෘණ හැඟීම් අපගේ ආදර අත්දැකීම් වල කොටසක් බව අප සලකන්නේ ඒ නිසා විය හැක. ඒත් එය ඇත්තක්ද?

අප බියෙන්, සැකෙන්, තරහුන්, කුතුහ‍යෙන්, අසතුටින් හෝ ඊර්ශ්‍යාවෙන් සිටින විට අපට ආදරයක් දීමට හො ලබාගැනීමට පුලුවන්ද? එම විට ආදරය වෙනස්ව ඇති ඔබට නොදැනේද? ආදරය උණුසිම්ය, හුරතල්ය, විවෘතය, ප්‍රීතිමත්ය, සතුටුදායකය. එය ඉතා ගැඹුරු අගය කිරිමක සංවේදනයකි.

වේදනාව ආදරයට ගොඩ වදින්නේ උවමනා සම්බන්ධතාවයක් අවශ්‍ය සම්බන්ධතාවයකට හැරවුණු විටය. ඕනෑකම අවශ්‍යතාවයට වඩා ගැඹුරු ඉල්ලීමකි. එය කැළඹුණ සිතේ බලපෑමක්ද විය හැකිය.
Queen of haert

ඔබ තමන්, තම පෙනුම, හෝ කාමාශාවන් පිළිබඳව නිසැක නොවී හෝ සිත කැළඹීමකින් ආදරයෙන් වෙලුනු විට, සතුට ලැබීම සඳහා ඔබගේ සහයක මත රඳා පැවතීම වැඩිය. ආදරයෙන් බැඳිමට පෙර ඔබ හුදකලාව සිටියේ නම්, ආදරය බිඳුනොත් ඒ හුදකලාව නැවත පැමිණේ යන බිය ඔබ සිතේ ඇතිවේ. ආදරය තිබීම අපගේ සාමාජික පැවැත්මට වැදගත් බව අප සිතමු. සමහරු එකකට පසු එකක ආදරයෙන් වෙලෙති. සමහර අයට කෙනෙක් නැත. සමහර විට ඉන්න කෙනා එතරම් හොඳ නැතිවිය හැක. එය එසේ නොවේ. අවශ්‍ය තරමින් අවධානය දෙන්නේ නම් එම තත්වය වෙනස් විය හැක. කෙනකු මත රඳා පැවත්ම නිසා කුඩා දේකට පවා එකට සිටීමේ හිතේ බිය හා අසතුට ලඟා විය හැක.

අප අපවම අගය නොකරගනීනම් හා එය අප වටා සිටින අන් අයගෙන් බලාපොරොත්තු වන්නේ නම්, නැවතත් ඒවා ඔබට දැනෙන ආදරයෙන් බාහිර දේ වේ. ඒවා ඔබගේ බිය නිසා ඒ.

ඔබට ආදරයේ වේදනාවන් නොලැබීමට නම්, ප්‍රථම පියවර තමන් අගය කිරීම හා තමන් අවබෝධ කරගැනීමය. ඒ සඳහා ආදර සම්බන්ධයකදී ඔබට මතුවන ප්‍රශ්න ගැන ඔබ දැනගන සිටිය යුතුයි. ඒ සඳහා ඔබ උපරිමයෙන් නොව සම්පූර්ණයෙන්ම ඔබට අවංක විය යුතුය.

ධනුෂ්ක සපුමල් said...

නැහැයෙන් දැක්වෙන ලක්ෂණ

1. උස් නැහැය පිහිටියේ නම් හෙතෙම රාගාධික වේ. යමෙකුගේ සිත් දිනාගැනීමට සමත් වන්නකි.

2. දික් වූද මහත වූද නැහැය ඇත්තා චාං ගති ඇත්තෙකි.

3. නාසය මුදුන කවාකාර වී නම් හෙතෙම අහංකාර ගති ඇත්තෙකි. නමුත් අවංකව කටයුතු කරන්නෙකි.

4. නාසය මුදුනත සිහින් ලෝම පිහිටි ඔහු ඉතා සාධාරන ජීවිතයක් ගතකරන්නෙක් වෙයි. ආගමික කටයුතු වලදී නායකත්වය දරයි.

ධනුෂ්ක සපුමල් said...

ආයුබෝවන්!


තාක්‍ෂණ හරඹයෙන් ලබන අස්වැසිල්ලකදී, අපුරුතම සුන්දරත්මක නිර්මාණයක පහසින් සිසිල් වන්න. එවන් නිර්මාණවල අපූර්වත්වය විඳින්න, විස්තර කරන්න. නිර්මාණ මෙන්ම අපූරූ මිනිසුන්ද හා හඳුනා අගයන්න.. මහාකලාකරුවන් මෙන්ම හේනක පැලක, ගංගාවක් අසබඩ බිහිවන නව නිර්මාණ ධනාත්මක සෞන්දර්යට බිහිවූ විදාශාවේ රාජධානියට ගෙන එන්න.

ධනුෂ්ක සපුමල් said...

නිරාලම්බනය

සුනන්ද මහේන්ද්‍රයන් විසින් ලියන ලද ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙස අප අතට පත්වූ අලුත්ම නවකතාව නිරාලම්බනයයි. මෙය කියැවු මට සහෘදයකු ලෙස මේ ගැන යමක් ලියන්නට සිත්විය. මේ අදහස් රසිකයෙකුගේම මිස විචාරකයකුගේ නොවන බව උදක්ම සිහිකරමි.

නිරාලම්බනය යන්නෙහි අදහස නොඇලීමයි. මෙය සංවර්ධනාත්මක සමාජ භෞතික පරිනාමය සමග ගලපද්දී ඍණාත්මක සංකල්පයක් විය හැකිය. හේතුව මිනිසාට නොඇලී නොබැඳී භෞතික සංවර්ධන ඉලක්ක කරා යා නොහැකිය යන මතය සමාජගතවී ඇති බැවිනි.

එහෙත් නිරාලම්බනය ශුන්‍යතාවාදය ඇසුරුකරගත් සංකල්පයක් ලෙස මම නොදකිමි. නිරාලම්භනය තේරුම් ගැනීමට පුද්ගලයාට භෞතික දෘෂ්ටියකට වඩා තිබිය යුත්තේ ආගමෙන් දර්ශනයෙන් පෝෂණය වූ අභෞතික දෘෂ්ටියකි.

අප බුදු දහම ඇසුරුකරගත් කලකිරීම යන වචනය එපා වීම යන අර්ථයෙන් සමාජගත වී ඇත. එය කෙතරම් සාධාරණ අදහසක්දැයි සොයා බැලිය යුතුය. බුදු දහම මැනවින් පරිශීලනය කරන්නෙකුට කලකිරීම යන්නට මීට වඩා හොඳ අර්ථකථනයක් දියහැකි විය යුතුය.

“නිරාලම්බනය” නැතහොත් නොඇලීම සමස්ත අතහැරීමක්ද නැතහොත් හුදකලා වීමක්ද? එය එසේම නම් සමහරෙකුට නිරාලම්බනය කුහකකමක් ලෙස විග‍්‍රහ කළ හැකිය.

බුදු හිමියෝ රාහුල හිමියන් හා දේවදත්ත හිමියන් යන දෙනම කෙරෙන්ම නිරාලම්බනය වූහ. එයින් මේ දෙනමට ම වූ අසාධාරණයක් නැත. රාහුල හිමියන් වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල උන්වහන්සේ සිදු කළහ.

දේවදත්ත හිමියන් බේරා ගැනීමට නොහැකි වූයේ දේවදත්ත හිමියන්ගේ වරද විනා බුදු හිමියන්ගේ බලපෑමක් නිසා නොවේ. මේ පුංචි නිදසුන මා දැක්වූයේ නිරාලම්බනය යන වචනය හා බුදුහිමියෝ එම මධ්‍යස්ථ සිත පැහැදිලි කිරීමටය.

එය උපේක්ෂා සහගත දෘෂ්ටියයි. නිරාලම්බනය තුළ යුතුකම් අතහැරීමක් නැත. වගකීම් පැහැර හැරීමක් නැත. සමහරක්විට නිරාලම්බනයට අයත් වස්තූන්ගේ හැසිරීම පීඩාකාරී එකක් විය හැකිය. ඒ එම වස්තුන් නිරාලම්බනයට හසුවනවාට අකමැති නිසාය.

මේ නිසා නිරාලම්බනය කරන තැනැත්තාත් නිරාලම්බනයට හසුවන වස්තූන් අතර ගැටුමක් විය හැකිය. එය නිරාලම්බනයේ වරදක් නොව පාර්ශවයන්ගේ වරදකි.

සුනන්ද මහේන්ද්‍ර මහදුරු තුමන් ගේ නිරාලම්බනයට වස්තු වූයේ එකම කතාවක් නොවේයැයි මට සිතේ. සමාධි නමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යාවගේ මරණය පදනම් කරගත් සිද්ධිය වටකරගත් අතුරු සිදුවීම් රාශියක් සමග මේ කතාව ගලාගෙන යයි.

සමාධිගේ මරණය ඛේදවාචකයක් වන්නේ යම් සමාජ පංතියකට පමණක්ය. එම පංතිය වෙන්වන සීමා ඉර කතුවරයා ඉරක් ගසා පෙන්වන්නේ නැත. එකම විශ්වවිද්‍යාලයක බුද්ධිය හෝ උගත්කම ආදි නිර්නායකයන් තුළ සමාධිගේ මරණය විග‍්‍රහ විය යුත්තේ සමාන වටිනාකමකින් වුවත් එය එසේ සිදු නොවේ.

ඛේදවාචකයකදි හැඟීම් දැනීම් සමග කි‍්‍රයාකරන පංතිය අතින් සිදුවිය හැකි බරපතල කි‍්‍රයාද බොහෝමය. කතුවරයා සමාධිගේ මරණය හුදු ඛේදවාචකයක් ලෙස ගොනුකර මුළු සමාජයක් ඒ වටා මතවාදීව එකතු නොකරයි. ජගත්ට එය දරුණු ඛේදවාචකයකි.

ඔහු මේ සිද්ධියෙන් පසුව හැසිරෙන්නේ ආදරය ඇලීම බැඳීම සමග පොරබදා එය නොලැබ හිස ගිනිගත්තෙකු ලෙසය. ඔහුගේ චාර්යාවන් හැඩ ගැසෙන්නේ ලම්බනයට සාපේක්ෂවය. එහෙත් කමලසිරි ඇදුරුතුමා මේ ඛේදවාචකයේදි හැසිරෙන්නේ තවත් විදියකටය.

එය නිරාලම්බනය පිළිබඳ ඉගියක් සහිත හැසිරීමකි. එහෙත් මීට ඉඳුරාම වෙනස් වූ පුද්ගලයා කාලිංගය. ඔහුගේ හැසිරීම් ලම්බනය වීමේ ප‍්‍රතිඵලයක් වුවත් එය ජගත් ගෙන් වෙනස් වූවකි.

මේ තුන් දෙනාම සමාධිට ආදරය කළෝය. සැබවින්ම ආදරය කළෝය. එහෙත් ඔවුන් තිදෙනා එකම වස්තුවක් හමුවේ තුන්ආකාර පුද්ගලයෝ වූහ. කමලසිරි නම් සමාධිගේ ගුරුවරයාට සමාධි ඉටුදෙව්දුවකි.

ජගත්ට සමාධිගෙන් අවශ්‍ය ලිංගික ජීවිතය පෝෂණය කරමින් දරුවන් වදන ගෘහණියකි. කාලිංග පැතූ ආදරය කුමන වර්ගයේ එකක් වුවද ඔහුගේ ප‍්‍රතිකි‍්‍රයාව සිදුවන්නේ ප‍්‍රතිකෝපවීමෙන් හටගත් කම්පනයේ ප‍්‍රතිඵලයක් ලෙසය.

අපට කාලිංගලා ජගත්ලා වර්තමානයේ සොයාගත හැකිය. එහෙත් කමලසිරිලා සොයා ගත නොහැකිය. කමලසිරිලා නොසිටියා නොව ඔවුන්ව මරා දමන්නට බොහෝ පිරිසකට උවමනාව තිබුණි.

අපට කමලසිරි මෙහිදි වැදගත් වන්නේ ඇයි? ඔහු සමාධිට ආදරය කළ ආකාරය විග‍්‍රහ කර ගැනීමකට ද නැතිනම් ඔහුගේ පශ්චාත් හැසිරීම් රටා නිරාලම්බනය හා බැදුණු ඒවා වූයේ ඇයිද යන්න සොයා ගැනීමටද? මේවා එකින් එක වෙන වෙනම කතාකළ යුතු වුවත් මා මෙහිදී උත්සාහ කරන්නේ කමලසිරිගේ නිරාලම්බනය කෙරෙහි බලපෑ අවසාන සාධකය විග‍්‍රහ කිරීමටයි.

ඒ අවසාන සාධකය සමාධි මිය යෑමෙන් හටගත් කම්පනය වියහැකි බව කෙනෙකුට සිතිය හැකිය. නැතහොත් ප‍්‍රංශයේ ගතකළ ජීවිතයේ විවාහ සංස්ථාව හා බැඳුණු ඛේදවාචක වියහැකි බව සිතෙන්නට පුළුවන. මා දන්නේ ඒ එකක්වත් නොවන බවයි.

සෞන්දර්යවාදය, ආගම, දර්ශනය, ආදරයෙන් සුපෝෂිත ප‍්‍රාචිනවාදී චින්තනයේ ප‍්‍රතිඵලය කමලසිරි නිරාලම්බනය වීමයි. සෞන්දර්යවාදය ස්වභාව ලෝකය දෙස බලන කැඩපතයි. එය යථාර්ථයන් මෝහනීය බසක ඔතා චොක්ලට් කරන කොම්පැනියක් නොවේ.

ආගම දර්ශනය සමග මුසුවු සෞන්දර්ය තුළ බිහිවන නිර්මාණයට වඩා ඒ නිර්මාණය තුළ සිටින මිනිසා අපට වැදගත් විය හැකිය. ඔහු ;ල¤කයේ වින්දනිය ඉසව් අපට පෙන්වාදෙයි. සමාජ උපේක්ෂාව පිළිබඳ පාඩම් කියා දෙයි.

මෙය සමාජයේ ආපසු ගමන් කරවීමක් ලෙස කෙනෙකුට පෙනී යා හැකිය. බටහිරවාදි චින්තනය සකස් වන්නේ භෞතික සීමාවන් තුළය. එහි ප‍්‍රගතිශීලී බවක් ඇතත් එම ප‍්‍රගතිශීලිත්වය අප තුල ඇති කරවන්නේ කඩාගෙන බිඳගෙන විනාශ කරගෙන ඉදිරියට ඇදෙන උත්තේජනයකි. අප ඉලක්කය කරා ගියත් ආපසු හැරී බලනවිට එහි පිටුපස කිසිදෙයක් ඉතුරු වී නැත.

ශිෂ්ටාචාරයක මුලත් අවසානයත් පමණක් දැකිය හැකිය. ප‍්‍රාචිනවාදි චින්තනය පෝෂණය වන්නේ භෞතික හා අධ්‍යාත්මික යන සීමාවන් දෙකම තුළය. මේ නිසා එම ශිෂ්ටාචාරය විචාරශීලීය. එහි මුල මැද අග යන තුන්තැන්ම දැකිය හැකි වනු ඇත.

කමලසිරිගේ නිරාලම්බනය ශුන්‍යතා සංකල්පය ඉස්මතු කරවන්නක් නොවේ. ඔහු එසේ නම් සමාධි ගැන තවදුරටත් සිහිනොකට යුතුය. ඔහු අවසානයෙත් සමාධිගේ රූපය දකියි. එහි සුඛ නිමිති දකියි. එසේ නම් කමලසිරි නිරාලම්බනය වන්නේ කුමකින්ද. භෞතිකය තුළිනි.

සමාධිගේ කය ආශ්වාදනය කිරීමේ පිපාසාවක් කමලසිරිට ඇති නොවන්නේය. ඔහු ඇගේ අධ්‍යාත්මය ඇසුරු කරගත් වෘතාන්තයක් නිර්මාණය කරගනි. එය ස්පර්ශ කරයි. ඒ ස්පර්ශය ලැබීමට ඔහුට උපකාර වන්නේ කවිය, චිත‍්‍රය, සටහන් ආදියයි. එය සමාධි මිය ගියද ඔහු අතහැර නොයයි.

සමාධිගේ මරණය කම්පනයක් වුවද ඔහු සමාධිගේ කය අහිමිවීම තුළ කාලිංග හෝ ජගත් අත්කරගත් ඉරණම අත් නොකර ගනී. එය කමලසිරිගේ දක්ෂකම නොව ඔහුගේ ප‍්‍රාචීනවාදී චින්තනයේ හා එම චින්තනය ඇසුරු කරගත් චරිත වර්ධනයේ ප‍්‍රතිඵලයකි.

මෙම නවකතාව ආකෘතික අතින් ලැබී ඇති ආගන්තුක බව නවකතාවේ සාධනීය ලක්ෂණ පිළිබිඹු කරන සාධනයකි. එබැවින් සංවාද ස්වරූපය දින සටහන් යොදා ගැනීම කර්තෘවරයා ගේ ආධිපත්‍යය නිලින වී තිබීම මේ කතාවට කළ සාධාරණයක් ලෙස මම දකිමි. සුනන්ද මහේන්ද්‍ර ඇදුරු තුමන්ගේ නිරාලම්බනය, නිරාලම්බනය පිණිස වූ භාවනාවන් කරගැනීමට යම් මාවතක් හෙළිකර දෙන කෘතියකැයි මට සිතේ.

ධනුෂ්ක සපුමල් said...

ජාතික කලා මහෝත්සවය (2007 සැප්තැම්බර් මස 20 – 21 – 22)

ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය (2007) අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හොරණ ශ‍්‍රීපාලි විද්‍යාලයේ දී අද (20) 3 ට අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මෙවර ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ දී දේශීය සාහිත්‍ය කලාවේ උන්නතිය උදෙසා සුවිශේෂි මෙහෙවරක් කළ සහිත්‍යවේදීන් තිදෙනෙක් දේශනේතෘ සම්මානයෙන් පිදුම් ලබන අතර තවත් තිදෙනෙක් සාහිත්‍ය රත්න සම්මානයෙන් පිදුම් ලබති. මීට අමතරව මෙවර සාහිත්‍යකලා මහෝත්සවය පැවැත්වෙන කලුතර දිස්ති‍්‍රක්කයේ සාහිත්‍ය ප‍්‍රවර්ධනයට සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ සාහිත්‍යධරයන් 10 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමේ.

2007 සාහිත්‍ය කලා මහෝත්සවයේ කප් සිටුවීම සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රීපාලි විද්‍යාලීය භූමියේ දී පසුගිය 06 වෙනිදින සිදු කෙරෙණි. මෙවර සාහිත්‍ය කලා මහෝත්සවය අද (20) දින සිට 23 වෙනිදින දක්වා දින තුනක් පුරා මහත් ශ‍්‍රී විභූතියෙන් යුතුව පැවැත්වීමට සැලසුම් කැර ඇත.

උත්සවය ආරම්භ වන අද (20) දින උදේ 6 ට කළුතර බෝ සමිඳු අබියසදී ආගමික වතාවත් සිදු කෙරේ. මීට සමගාමීව ශ‍්‍රී කදිර වේලායුධ කෝවිල වෙට්ටුමකඩ පල්ලිය, ශාන්ත යොහානා දේවස්ථානය යන ආගමික සිද්ධස්ථානවල දී අනෙකුත් ආගමික වතාවන් සිදු කෙරේ.

හොරණ සංස්කෘතික ප‍්‍රබෝධය සංවර්ධනය උදෙසා ඉදිකළ නව සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම ද මෙදින සිදු කෙරේ. මීට අමතරව ළමා උපන්දින ත්‍යාග පොත් පත් කට්ටල ප‍්‍රදානය කිරීම හා වෙළෙඳ කුටි, ප‍්‍රදර්ශන කුටි විවෘත කිරීම ද සිදු කෙරේ.

මෙරට ගීත සාහිත්‍යයේ රසවින්දන වැඩසටහනක් හා නෘත්‍ය නිර්මාණ පිළිබඳ රසවින්දනාත්මක වැඩසටහනක් ද මෙදින පැවැත්වේ.

සාහිත්‍ය කලා මහෝත්සවයේ සමාරම්භක දින උත්සවයේ අවසන් අංගය වන සාහිත්‍ය කලා හා නර්තන පෙරහැර අද සවස 5.30 ට හොරණ නගර සභා කී‍්‍රඩා පිටියෙන් ආරම්භ කෙරෙයි. මේ පෙරහර ශ‍්‍රීපාලි පරිශ‍්‍රයට පැමිණීමෙන් අනතුරුව මෙරට සියලුම සංස්කෘතික මධ්‍යස්ථානවල සහභාගීත්වයෙන් පැවැත්වෙන දැවැන්ත විවිධ ප‍්‍රසංගය පැවැත්වීමට නියමිතය.

2006 වසරේ විශිෂ්ටතම සාහිත්‍ය කෘතිවලට රාජ්‍ය සම්මාන සමඟ මූල්‍ය ත්‍යාග පිරිනැමීම 23 වැනි දින සවස අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

මෙතෙක් (2006) ප‍්‍රකාශයට පත් කෙරුණ සිංහල ඉංග‍්‍රීසි හා දෙමළ බසින් ලියැවූ පොත් 32 මෙවර සාහිත්‍ය උළලේදී මුදල් හා ත්‍යාග පිරිනැමීමට අවශ්‍ය පියවර යොදා ඇති බව එම උළෙලේ සංවිධායකයෝ පවසති.

මෙවර සාහිත්‍ය උළලේදී විශේෂත්වයක් ගනු ලබනුයේ සාහිත්‍යයේ පෝෂණයට සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ ප‍්‍රවීන සාහිත්‍යධරයින් තිදෙනෙකුට ‘දේශනේතෲ’ සම්මානය ප‍්‍රදානය කිරීමය.

එමෙන් ම ඊට අමතරව සාහිත්‍ය වෙනුවෙන් උදාර මෙහෙවරක් ඉටු කළ තවත් සාහිත්‍යධරයන් තිදෙනෙකුට සාහිත්‍ය සම්මානය සමඟ රුපියල් 50,000/- ක මූල්‍යමය ප‍්‍රදානයක් ද කෙරෙනු ඇත.

මෙයට අමතරව මෙවර සාහිත්‍ය උළලේදී කළුතර දිස්ති‍්‍රක්කයේ උපන් සාහිත්‍යධරයන් ඇතුළු කලාකරුවන් දස දෙනෙකුට කලා ‘නිර්ථාභිමාණී’ සම්මාන ප‍්‍රදානය කරමින් ඔවුන්ගේ සේවා මෙහෙවර ඇගැයීම ද සිදු කෙරේ.

තවද කළුතර දිස්ති‍්‍රක්කයේ මෙම සාහිත්‍ය දින පැවැත්වෙන සැප්තැම්බර් මස 20 – 21 – 22 යන දිනයන්හි උපත ලත් කීප දෙනෙකුට ද සම්මානයක් ද ප‍්‍රදානය කිරිමට ද කටයුතු යොදා ඇති අතර මෙම උත්සවයේ දී විශේෂ සාහිත්‍ය දේශනය පවත්වනු ලබනුයේ කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාය.

මෙවර සම්මාන ලබන සාහිත්‍ය කෘති මෙසේය. 2007 හොඳම නව කතාව - සෝමසිරි ලියනගේ ලියූ ‘කලකිනි ගණදුර දුරු වී යන්නේ’ - හොඳම කෙටි කතා සංග‍්‍රහය - ටෙනිසන් පෙරේරාගේ – ‘අසිරිමත් වැඩ බිම’ හොඳම කාව්‍ය සංග‍්‍රහය - ආරියවංශ රණවීරගේ ‘දොළොස් රළ’ හොඳම ගී පද මාලා සංග‍්‍රහය – රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියූ ‘සසර දනව්ව‘ හොඳම ළමා සාහිත්‍ය ග‍්‍රන්ථය රත්න ශ‍්‍රී විජේසිංහගේ සිංදු කියන උණපඳුර, හොඳම යොවුන් සාහිත්‍ය ග‍්‍රන්ථය සෝමවීර සේනානායකගේ ‘රජකාලේ පුංචි ළමයි’ හොඳම විද්‍යා ප‍්‍රබන්ධය – ධනපාල ගුණසේකර ගේ ‘යොවුන් හපන්නු’ හොඳම සාහිත්‍ය ග‍්‍රන්ථය - සුචරිත ගම්ලත්ගේ ‘බුද්ධ චරිතය’ ශ‍්‍රී ලංකාවේ බුද්ධ ප‍්‍රතිමා කලාව (චන්ද්‍රා වික‍්‍රමගේ) සහ මහාචාර්ය ජේ. බී. දිසානායක සූරින්ගේ සිංහල අක්‍ෂර විචාරය යන කෘතීන් රාජ්‍ය සම්මානයට පාත‍්‍රවී තිබේ.

2007 වසරේ හොඳම පරිවර්තන නව කතාව ජයන්ත විමලසේනගේ ‘ස්වර්ණ මණ්ඩපාරාමය’ හොඳම පරිවර්තන කෙටිකතා සංග‍්‍රහය මොහොමඩ් රාසුක්ගේ ‘නොපෙනෙන පැති’ හොඳම පරිවර්තන නාට්‍ය ග‍්‍රන්ථය සේන තෝරදෙණියගේ ‘මරණය සහ රජතුමාගේ අසරුවෝ’ හොඳම පිටකවර නිර්මාණය – කුවේණි නම් වූ සන්ලද කෘතිය (හර්ෂ ගොඩගේ) හොඳම නිමාවකින් යුතු ග‍්‍රන්ථය ජැක්සන් ඇත්තනීගේ ‘මහා සිංහල වංශ කතාව‘ මේ වෙනුවෙන් ග‍්‍රන්ථය සැලසුම් කළ ජගත් ජයසුන්දර සහ මුද්‍රණය කළ එම්. ඩි. ගුණසේන සමාගමට රාජ්‍ය සම්මාන පිරිනැමේ.

විෂයානුගතව වැඩිම ග‍්‍රන්ථ සංඛ්‍යාවක් ප‍්‍රකාශනය කළ එස්. ගොඩගේ සහෝදර සමාගමට මෙවර සාහිත්‍ය සම්මානයක් හිමිවෙයි. නව ලේඛක ලේඛිකාවන් ගේ සාහිත්‍ය හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණු ඇතිව රචනා කළ නව කතා, කෙටි කතා, චිත‍්‍ර කතා, විද්‍යා ප‍්‍රබන්ධ නාට්‍ය රචනා අත්පිටපත් තරගයෙන් ජයගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ත්‍යාගයන් ප‍්‍රදානය කෙරේ.

මේ අතර රයිගම්පුර සාහිත්‍ය උළෙල ද 21 දා හොරණ ශ‍්‍රීපාලි ආයතනයේ දී පැවැත්වේ.

ධනුෂ්ක සපුමල් said...

ජනමාධ්‍ය නූතන ගොබෙල්ස්ලා හා ජනතාව
හූවෙන් ඇරඹුණු මානව සන්නිවේදනය, සරල මෙවලම් භාවිතයේ සිට සංකීර්ණ උපකරණ භාවිතය දක්වා පුළුල් විය. ගිනි පෙට්ටියකට මඳක් විශාල වූ ජංගම දුරකථනයකින්, ලෝකයේ අනෙක් අන්තය සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට තරම් මේ මෙවලම් භාවිතය අද වන විට පෙරට පැමිණ තිබේ. නුදුරු දිනකදීම, වෙනත් ග්‍රහලෝකයකට යන මිනිසකු සමඟ වුවද ජංගම දුරකථනයකින් සන්නිවේදන සම්බන්ධතාවක් ඇති කරලීමේ හැකියාව ලැබෙනු ඇත. ශ්‍රව්‍යමය වශයෙන් පමණක් නොව ශ්‍රව්‍ය-දෘෂ්‍ය සන්නිවේදන හැකියාව දක්වාම එය දියුණු වනු ඇත.
විද්‍යාත්මක හා තාක්ෂණික ජයග්‍රහණ මඟින් විශ්වය ම දෝතට ගත හැකි සන්නිවේදන මෙවලම් බිහි වීම සිදු වුවද එම ජයග්‍රහණ පොදු මානව ප්‍රජාවට පෙරළා ලබා දෙන්නේ කෙබඳු ජයග්‍රහණ ද ? කෙබඳු අර්ථයකින් යුතු ජයග්‍රහණ ද ? පිළිතුර කිසිවක් ම නැත යැයි නිසැකවම කිව හැකිය. එසේ නම් එම ජයග්‍රහණ ලබන්නේ කවුරුද ? ‛ආධිපත්‍යධාරීන්’ ය.
‛ආධිපත්‍යධාරීහු’ යනු ප්‍රාග්ධනයේ, දේශපාලනයේ, සංස්කෘතියේ සහ බලයේ ආධිපත්‍යය දරන්නෝ ය. මොවුන්ගේ ‛යහ පැවැත්ම’ වෙනුවෙන් ‛පැවතිය යුතු සියලුම දෑ’ ජනමාධ්‍ය බෙදා හරී. ඒ අතුරින් මතවාද ප්‍රධාන වේ.
එහෙත් ජනමාධ්‍ය පරිහරණය කරන වැඩි දෙනෙක් මේ කිසිත් නොදනිති. ඔවුහු, උගත්, නූගත් බේදයකින් තොරව නූතන ජනමාධ්‍යයේ ‛ඇම’ ගිලිති. ජනමාධ්‍ය විශාරදයෝ මෙය හඳුන්වන්නේ ‛ජනමාධ්‍ය සාක්ෂරතාව’ ලෙසිනි. ‛පත්තරේ තිබුණා’, “ටී. වී. ප්‍රවෘත්තිවලට කිව්වා’, “රේඩියෝ එකේ කිව්වා’ වැනි ප්‍රකාශවලින් මේ ජනමාධ්‍ය සාක්ෂරතාවයේ තරම හඳුනා ගත හැකිය. ජනමාධ්‍ය ආධිපත්‍යය දරන්නන්ගේ අරමුණ වන්නේ ජනතාවගේ ‛ජනමාධ්‍ය සාක්ෂරතාවය’ ඉහළ දැමීම නමින් ‛ප්‍රවෘත්ති’ ලෙස නම් කරන ‛පල් හෑලි’ ගෙඩි පිටින් ගිලින්නට ජනතාව හුරු කරවීමය.
‛ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑ’ යන සාම්ප්‍රදායික යෙදුමේ පිහිටෙන් මහජනතාව ජනමාධ්‍ය අධිපතියන්ගේ අරමුණුවලට විහින්ම බිලි වෙති. ස්වාභාවික විද්‍යාවට අනුව, කෙසේ වෙතත්, ධනවාදී දේශපාලන භාවිතයේ දී නම් ‛ගිනි නැතිව ඕනෑ තරම් දුම් නඟින’ බව ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති.
මිනිස් වර්ගයාට එරෙහිව, අති ම්ලේච්ඡ සමූල ඝාතක යුද්ධයක් කළ හිට්ලර්ගේ ප්‍රචාරක ප්‍රධානියා වූ ගොබෙල්ස්ගේ න්‍යාය වූයේ ‛ඕනෑම බොරුවක් යළි යළිත් කී විට, එය සත්‍යයක් සේ පිළිගැනීමට මිනිසුන් පෙළඹෙන’ බවයි.
නූතන ගොබෙල්ස්ලා ද මාධ්‍ය භාවිතයේ දී යොදා ගන්නේ මේ න්‍යායම බව හොඳින් ම පැහැදිලිය. වත්මන් ජනමාධ්‍ය අතර පැරැණිම එක වන පුවත්පත, දෘෂ්‍ය මාධ්‍යයකි. එය ඇස වෙනුවෙන් වන අජීවී දෘෂ්‍ය මාධ්‍යයක් සේ නම් කළ හැකිය. එය එසේ වන්නේ, මුද්‍රිත වැකි අනුපිළිවෙළින් ගලවා ගැනීමේ කාර්යය ඇසට පැවරී තිබෙන බැවිනි. නැතහොත් ඇස, වැකි දිගේ ගෙන යා යුතු බැවිනි.
විස්තර කථනයකින් චිත්ත රූපාවලියක් මවන ගුවන් විදුලිය, ‛කන’ මූලික කොට වේගවත්, සජීවී බවක් අත් කොට ගත්තකි.
ඇස හා කන ඒකාබද්ධ කළ රූපවාහිනිය මේ දෙකටම වඩා ප්‍රබලව, සජීවීව, වත්මනෙහි නැඟී සිටින මාධ්‍යයයි. ‛මිනිසාගේ ඇස වෙනත් කිසි කලකටත් වඩා දිගු වූ යුගය’ ලෙස මේ අයුරින් කතා කරන්නේ නිකමට නොවේ. ලොවේ කුමන කෙළවරක වූ සිදුවීමක් හෝ එසැණින් දකින්නට හැකි කම මිනිස් ඇසට රූපවාහිනිය මඟින් ලබා දීම ඊට හේතුවයි.
මිනිසාගේ සංවේදන ඉන්ද්‍රියයන් අතරින් ඇස, බාහිර ලෝකයේ සංවේදන 87්‍රක් ලබා දෙයි. 7්‍රක් කන මගින් ලබා දෙයි. ඒ අනුව ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍යයක් වූ රූපවාහිනිය කරන බලපෑම කොතෙක්දැයි හඳුනා ගත හැකිය.
පොදු ජනතාව කෙරේ බලපෑම් කිරීමට මේ මාධ්‍යයන්ට ඇති හැකියාව නිසා ම විවිධ ආචාර ධර්ම පද්ධතීන් බිහි කොට ගෙන තිබුණ ද, එළිපිටමත්, සූක්ෂ්මවත් ඒවා කඩා දමන සැටි, කෙලෙසා දමන සැටි අපට දැක ගත හැකිය. එය එසේ වන්නට හේතු දෙකක් තිබෙන බව පෙනේ.
1. වාණිජ විප්ලවයේ උච්චතම අවස්ථාව වන ‛වාණිජ ප්‍රාග්ධන වෙළඳ පොළ’
2. නව යටත් විජිතවාදයේ උච්චතම අවස්ථාව වන ‛ගෝලීය ධනවාදී දේශපාලන පොරපිටිය’ යන මේ දෙකයි.
කාන්තාරය හරහා යන බෝසත් වෙළෙන්දා ඇතුළු පිරිසට ඈත දිය ඇති බවක් රාක්ෂයකු විසින් මවා පෙන්වූ කල, නායකයාගේ බස් පවා නොඅසා වෙළෙඳ පිරිස තමන් අත වූ දිය වීසි කොට අසීරුවට පත් වූ අයුරු බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.
නූතන ජනමාධ්‍යයේ ඇත්තේ ද එවන් ‛මවා පෑම්’ ය. ඇරිස්ටොෆානිස් නම් ග්‍රීක නාට්‍යකරුවාගේ දෙබසක මෙසේ කියැවේ.
“ජනතාවෙනි, ඔබ පහසුවෙන් මුළා වන්නාහුය. ඔබ රවටනු ලැබීමටත්, චාටුබස් ඇසීමටත් කැමැත්තාහුය. හිස් බැල්මකින් ඉදිරිය බලමින් හැම කථිකයකුම විශ්වාස කරන්නාහුය. ඔබට මොළයක් ඇත. නමුත් ඔබ, ඔබගේ කන පාවිච්චි කරන විට, එය කොහේ දෝ පියාඹා යයි.”
මෙය අදටත් වලංගු නැත්තේ ද? පෙර කී අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාකරන මාධ්‍යවලට අවශ්‍ය වී ඇත්තේ ජනතාව මොළය පාවිච්චි කිරීමෙන් මුදවා ගැනීමය. ‛මොළය වැඩෙන කිරිපිටි, අස්ථි දිරා නොයන කිරිපිටි, සම රැකගන්නා සබන්, වෙල්වට් වැනි සමක් ඇති කරන සබන්, වැනි ද්‍රව්‍යමය නිෂ්පාදන විකිණීම පමණක් නොව, ‛අපේ මේ කතාව අහලා ඔය ගොල්ලොත් ජීවිත රක්ෂණයක් ලබා ගන්න’ යනුවෙන් කෙරෙන මනුෂ්‍ය භාවය මිල කිරීමක් උලා කෑමත් කළ හැක්කේ මිනිසාගේ මොළය නිෂ්ක්‍රීය නම් පමණි.
මෙහි අවසන් අරමුණ වෙළඳ ලාභ ඉපයීම පමණක් ම නොවේ. එය අභිබවා ගිය දේශපාලන ලාබය ද අපේක්ෂා කෙරේ. ‛ආචාර ධර්ම’ කෙලෙසීම ඒ සඳහා ජයටම සිදු වේ. ඒවා නීතිය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකිය. ඒ, ඊට ඇවැසි කූට උපායන් ද, නීතියෙන් සියුම් ලෙස රිංගා යාමේ ඉඩකඩ ද ඔවුන් ඉතා ශූර ලෙස යොදා ගන්නා හෙයිනි. නීතිය හමුවේ අර්ථ විරහිත වන එවන් දෑ කොතෙකුත් වේ.
කැලෑ පත්තර ලෙස හැඳින්විය හැකි, පිටපත් තුන් හාර දහසක්වත් අලෙවි නොවන පුවත් පත් මඟින් විවිධ අසත්‍යයන් නිර්මාණාත්මකව ප්‍රවෘත්ති බවට පත් කිරීම මෙහිදී වැඩිපුරම සිදු වන්නකි. ඒවාට ලුණු ඇඹුල් තව තවත් දමා, අත්තටු ලබා දෙන්නට රූපවාහීනී තිර මඟින් ඒවා අර්ථ නිරූපණය කරන්නට පිරිස් යෙදවීම එහිම දෙවැනි පියවරය. එමඟින් අජීවී පුවත් පත් සජීවී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් ජනතාවට ලබා දෙනු ලැබේ. මෙය, ‛නිදහස් මාධ්‍ය භාවිතය’කි. ‛නූතන ගොබෙල්ස් රජ වන්නේ මෙතැනදීය. ඔවුහු ජනමාධ්‍ය භාවිතයෙන් ‛පාතාල දේශපාලන ප්‍රතිලාභ’ උපයා ගනිති.
එහෙත් ඇස් ඇරගෙන විමසිලිමත්ව සිටින මිනිසුනට, ගොබෙල්ස්ලාගේ හෙළුව පහසුවෙන් පෙනේ. හෙළුව යනු නිරුවත නොවේ. එය අජූවකි. පිළිකුලකි. පිල් විදහාගෙන සිටින්නේ යැයි සිතා සිටින ගොබෙල්ස්ලාගේ පෙනෙන්නේ හෙළුවයි. ශුද්ධ වූ සියල්ල කෙලෙසී තිබේ. පොදු ආර්ථික, දේශපාලනික, සමාජයීය යථාර්ථය එයයි.
‛අති උදාරත්වයේ සිට අන්ත තකතිරුකම දක්වා ඇත්තේ දෙපියවරක් පමණි’ යැයි ලෙනින් කී කියමන ජනමාධ්‍ය උදෙසා යොදා කල්පනා කළ විට කොතරම් නම් ගැළපෙන්නේ ද.
තම මව, ගණිකා වෘත්තියේ යෙදවීම වැනි නිහීන ක්‍රියාවලින් බැහැරව, සත්‍යය කැටිකොටගත් විවේචනාත්මක ප්‍රහාරය වෙත ජනමාධ්‍යකරුවා යොමු නොවන්නේ නම් ජනතාව නොදුරේ දීම ඔවුන්ගෙන්ඉවත්ව යන බව නම් නිසැකය. මක්නිසාද යත්, ගොබෙල්ස් කුමක් න්‍යාය ලෙස යොදා ගත්තත්, මානව සංහතියේ ඉතිහාසය කියා පාන්නේ මිනිසා, සැමදා බොරුවට යටවී නොසිටින බවයි. නැතහොත් සත්‍යය කවර දා හෝ මතුවන බවයි.

ප්‍රියදර්ශන දයාරත්න



Top
මෝඩයෝ තවමත් සිටිත්....
කවුරුන් කුමක් කීවත් ඩේසි අක්කාගේ කාමරය සුන්දර තැනක්. හදිසියට “පොඩි අඩියක්” ගහන්නට එන නොයෙකුත් අන්දමේ පුද්ගලයන් එහිදී හමුවිය හැකිය. විල්සන් අයියා හමු වූයෙත් එහිදීය.
“මහත්තයල අහවල් කොම්පැණියෙ වෙන්න ඇති.... හරි ආඩම්බරයි මහත්තය... හරිම ආඩම්බරයි... ඔය කොම්පැණියට අපි ගරු කරනවා. ඒ මොකද දන්නවද.... ඔය කොම්පැණිය හදන්න අපි දාඩිය හැළුව...”
අපි ඔහු සමඟ සිනාසුනෙමු.
“ඩේසි අක්කේ... මහත්තුරුන්ට ගේන්ඩ මං ගානේ අඩියක්... අද ජනවාරි පළමු වැනිදා අපෙන් අඩියක් ගැහුවට කමක් නැහැනෙ...”
අප කොතරම් එපා කීවත් එයින් ඵලක් වූයේ නැත.
“මේක අපේ ගම මහත්තය... අපි මෙහෙ උපන්න එවුන්... ඉස්සර මේ ඔක්කෝම පැල්පත්... අපි මේ පාරවල්වල මඩ වගුරුවල පීනපු කොල්ලො. ඔය කොම්පැනිය ගහන්න පටන් ගත්තෙ ඒ කාලෙ තමයි. ඉස්කෝලෙ යන එක නවත්තලා දාලා අපිත් එකෙ වැඩට ගියා.”
“ඒක අපරාදෙනේ” මිත්‍රයෙක් කීවේය.
“මොකක්ද මහත්තයා අපරාදෙ කියන්නෙ. ඒ කාලෙ තුට්ටු දෙකක් අතට ලැබෙන එක කොච්චර දෙයක්ද ? අනිත් එක අපි ඉස්කෝලෙ ගියයි කියල වැඩක් වෙන එකක්යැ...”
“ගන්න මහත්තයා ගන්න.... ඉස්සර ඔය බිල්ඩින් තිබුණෙ නැහැ. පුංචි ගොඩනැඟිල්ලක් තමයි මුලින්ම ගැහුවෙ. ඊට පස්සෙයි ඔය අද තියෙන තත්වෙට ආවෙ. ඔය උස තාප්පෙවත් ඉස්සර තිබුණෙ නැහැ. පුංචි තාප්පයක්. ඒ පුංචි තාප්පෙ දිය සෙවෙල් කඩාපු හැටි මට අද වගේ මතකයි. දිය සෙවෙල් තට්ටු ගණන් තිබුණ.
ඒව කඩල ඉවර වෙනකොට අපේ ඇඟ පුරා දිය සෙවෙල්. අපිට ඒක සෙල්ලමක්. තාප්පෙ පුරාම ඒ කාලෙ කපුටු බෝ පැළවෙලා. ඒව උගුල්ලල දැම්මෙත් අපියි. ඔය තාප්පය ඉස්සුවෙ ඊට පස්සෙයි.”
“ගන්නකො මහත්තය.....”
“ඔය කොම්පැණියෙ මහත්තුරු එක්ක අඩියක් ගහන එකත් අපිට ආඩම්බරයක්. ඇයි ඉතින් අපි හදාපු කොම්පැණියනේ.”
“හුඟාක් කල් එතන වැඩ කළාද ...”
“හුඟාක් කලකුත් නැහැ. ඉතින් මොකද දවසට දෙකට අලුත් බිල්ඩින් ගැහුව. ලොකු මහත්තයප බලා ඉන්දැද්දි දියුණු වුණා. කොම්පැණියට ලොරි එක දෙක එකතු වුණා. අනේ අම්මපා මහත්තයො ඒ ලොරි පේනකොට අදත් අපිට ආඩම්බරයි.”
“ඔහේට තියෙන ආඩම්බරය මොකක්ද ඒකට..”
“ඇයි මහත්තයෝ අපි පටන් ගත්ත කොම්පැණියනේ. කාටද ආඩම්බර...”
“දැන් මොකද කරන්නේ ?”
“දැන් මොකුත් නැහැ මහත්තයො... ඉඳල හිටල කුලී වැඩක් හම්බ වුණොත් ඒක කරල කීයක් හරි හොයා ගන්නව”
“කොම්පැණිය දියුණු වුණාට ඔහේ දියුණු වෙලා නැහැනෙ...”
“මහත්තය කියන්නෙ පුදුම කතාවක්නෙ. අපි කොහොමද දියුණු වෙන්නෙ... අපි තාමත් මඩ වගුරුවල නාන එවුන්. අපි දියුණු වුණේ නැති වුණාට අපිටත් මේ කොම්පැණිය ගැන ආඩම්බරයි. මේක අපේ පළාතටම නම්බුවක්. ඔය කොම්පැණියෙ වැඩ කරන මහත්තුරුන්ටත් අපි සලකන්නෙ ඒකයි. ඔය කොම්පැණිය අපේම එකක් හැටියටයි අපි කල්පනා කරන්නෙ...”
පොලීසිය කඩා පැන්නේ ඒ මොහොතේදීය. විල්සන් අයියා කොහි අතුරුදහන් වුණේදැයි අප දුටුවේ නැත. විල්සන් අයියා කෙරෙහි මට ඇති වුනේ දුකක් හෝ අනුකම්පාවක් හෝ නොවේ. දැඩි කෝපයකි...

(1986 ජනවාරි 4 වැනිදා දිවයින පුවත් පතේ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ ‛අටවෙනි පිටුවෙහි’ පළවු මෙහි, කතුවරයා ගැන සඳහනක් තිබුණේ නැත)

Top

ප්‍රතිරූප

ප්‍රතිරූප යනු පිළිමම නොවේ. පිළිමයක් අතින් සෑදිය හැකියි. එය අල්ලා බැලිය හැකි භෞතික වස්තුවක්. එහෙත් ප්‍රතිරූපය එසේ නොවෙයි. එය ඉබේ ම මිනිස් හදවත් තුළ ඇතිවෙන්නක්. ප්‍රතිරූපය ඇති වන්නේ තවත් එක් මිනිසකු පිළිබඳව විය හැකියි. මිනිසුන්ගෙන් සැදි කිසියම් ආයතනයක් පිළිබඳව විය හැකියි.
ප්‍රතිරූපය නිතරම යහපත් එකක් වන්නේ නොවෙයි. එය මුළුමනින්ම එහි අනෙක් පස ද වන්නට හැකියි. ලෙනින් ගැනත්, ලෙනින් සෑදූ කොමියුනිස්ට් පක්ෂය ගැනත්, අපේ හදවත්වල ඉදිවී ඇත්තේ ගෞරවනීය යහපත් ප්‍රතිරූපයක්. එහෙත් හිට්ලර් ගැන හෝ නාසි පක්ෂය ගැන හෝ අපට ඇත්තේ එවන් ප්‍රතිරූපයක් නොවේ.
මිනිස් හදවත් තුළ යහපත්ව සදා තැන්පත්ව ඇත්තේ, එක් හෝ තවත් විදිහකින් මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කිසියම් මෙහෙයක් ඉටු කළ අයයි. ඉන් සමහරකුගේ ප්‍රයත්න සෘජුව ඵල දැරුවා විය හැකිය. තවත් සමහරකුගේ ප්‍රයත්න සෘජුව පරාජයට පත්ව, වක් ලෙසින්, නොපෙනෙනසුලුව පොදු ජයග්‍රහණයට පාර කපමින්, පෙනුමින් ව්‍යර්ථව ගියා විය හැකියි. වැදගත් ම දේ වන්නේ ඔවුන් සැමෙකකුම මිනිස් වග වෙත ආදරය කිරීමයි. අතරමඟ ඇද නොවැටී, කොන්දේසිවලින් තොරව ආදරය කිරීමයි. මේ ආදරයත් ඉන් ජනිත කළ ක්‍රියාමාර්ගත් පමණයි මිනිසුන්ගේ සිත් තුළ යහපත් ‛ප්‍රතිරූප’ බිහිකරවන්නේ.
‛ප්‍රතිරූපය’ පිළිබඳව ‛හෙට ඉරක් පායයි’ තීරයේ සටහන් තබන්නට කල්පනා කළේ, ’හෙට ඉරක් පෑයීම’ කෙරේ ‛යහපත් මිනිසුන්ගේ ප්‍රතිරූපය’ දැවැන්ත බලපෑමක් සිදු කරන බව අප විශ්වාස කරන නිසායි.
හොඳ වූවා හෝ නොවූවා හෝ ‛ප්‍රතිරූප’ ඉබේ, සැණෙකින් ඇති නොවෙයි. ඒවා ගොඩ නැඟෙන්නේ ටිකෙන් ටික හෙමිහිටයි. එක අතකින් ඒවා එසේ ගොඩ නැඟෙනවාදැයි නොපෙනන තරම්. එහෙත් ප්‍රමාණය, ගුණය බවට පැමිණෙන එක් මොහොතකදී අපට ‛ප්‍රතිරූපය ’ නිසැකවම දැක ගන්නට ලැබෙයි.
මෙහි වේදනාකාරීම දේ එය නොවෙයි. දිගු කලක් තිස්සේ, අසීරුවෙන්, සිදු කරන යහපත් බොහෝ දෑ වෙනුවෙන්, යමකු විසින් හෝ ආයතනයක් විසින් හෝ ගොඩනඟා ගන්නා ‛යහපත් ප්‍රතිරූපය’ සිතා ගත නොහැකි තරම් කෙටි කාලයක දී කෑලි කෑලිවලට කඩා බිඳ දමා ගැනීමයි. වැහැරී ඇද වැටීමයි. හුදු පුද්ගලයකුගේ බිඳ වැටීම මඟින් ලොකු බලපෑමක් සමාජයට සිදුවන්නේ නොවෙයි. එහෙත් ප්‍රතිරූප ගත’මිනිසකු බිඳ වැටුණු විට, ප්‍රතිරූපගත සංවිධාන බිඳ වැටුණු විට, ඒවා මුළු සමාජයටම, අඩුම තරමේ ඔහු හෝ එය වටා වූ සමාජය යම් කලෙකට හිරිවට්වාලනු ලබයි.
එහෙත්, සංවර්ධනයේ නියාම අප වෙත හැරී කතා කරන්නේ මේ මොහොතෙයි. කුමන බිඳ වැටීමක් වුවත් සිදුවන්නේ ඉබේ හෝ අහඹු ලෙස හෝ නම් නොවේ.
සිදුවන්නේ කාලාන්තරයක් තිස්සේ බිඳ වැටීමට අදාළ දේ රැස්වනු අපට නොපෙනීම පමණයි. අනෙක් අතට කුමන බිඳ වැටීම් සිදුවන්නේ වුවද, ඒ විසින් කියැවෙන්නේ ඊට අදාළ සාධක නිශේධනය මඟින් වඩා බරපතළ පිම්මක් පැන්න හැකි බවයි.
මේ නියාම සියවරක් නොව දස දහස් වරක් සැබෑ බවට ඔප්පු වී ඇති නිසායි, බිඳ වැටෙන ප්‍රතිරූප ගත මිනිසුන් හා ආයතන මැද වුව දෙපා සවිමත්ව පොළොවේ පය ගසාගෙන හෙට ඉරක් පායා ඒම පිළිබඳව අප දිගින් දිගටම විශ්වාසයෙන් යුතුව ලියා තබන්නේ.
නි.


Top



ස්මරණ


‛මුළු ලොවෙහි මාධ්‍යයන් තමන් යයි විශ්වාස කරන හා ඒ වටා පමණක් භ්‍රමණය වන වර්තමාන මිනිස් පරපුර උදෙසා ද එවන් ආදර්ශ අවශ්‍ය බව ඔවුනට මනුෂ්‍යත්වය පිළිබඳ මූලික පාඩම් පැහැදිලි කළ යුතුව ඇත. රූපවාහිනී යන්ත්‍රය ඉදිරිපිට හිඳ හඬා වැටෙන මිනිසුන් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ දුක ඉදිරියේ කම්පනය වන හදවත් සහිත මිනිසුන්, ඒ වෙනුවෙන් පෙරට එන මිනිසුන් බිහි කළ යුතුව ඇත.’
අප දන්නා පරිදි, මෙතෙක් ‛විචාරකයන්ගේ’ අවධානයට පාත්‍ර නොවූ, එහෙත් නිසැකව ම පාඨක අවධානයට යොමු විය යුතු කෘතියක, පෙරවදනින් උපුටා ගත්තකි ඒ.
කෘතිය ‛ස්මර්ණ’ නම් වෙයි. එය සෝවියට් කෙටි කතා 5ක පරිවර්තන එකතුවකි. මේ පරිවර්තනය සිදු කොට ඇත්තේ පරිවර්තන ලෝකයට එතරම් හුරු පුරුදු නමක් නැති මර්ලින් සුනේත්‍රා චන්ද්‍රරත්න විසිනි. එහෙත් පළපුරුදු පරිවර්තකයන් අභිබවා යාමටත්, එකී කෙටි කතා තෝරා ගැනීමේදී ‛මානව සංහතිය’ කෙරේ ඇය තුළ, වූ සුහදතාව කොතෙක් දැයි පෙන්වීමට ඇයගේ ‛ස්මරණ’ය නිසැකව ම සමත් වී ඇත..
මෙහි අඩංගු කෙටි කතා 5න් ‛ස්මරණ’, ‛හදවතේ මතකය’, ‛අපට සමාවෙන්න’ යන කෙටි කතා තුනම විශේෂයෙන් අපේ හදවත් කළඹවාලයි. ඒවා, අමතක කරන ලද යුතුකම් එක් පසෙකින් අපට සිහිකරවයි. කිසිදු ජයග්‍රහණයක් ඉබේ පැමිණෙන්නේ නැති බව අනෙක් පසෙන් අපට කියා පායි. වත්මන් පරපුරු ගොඩ නඟන්නට අතීත පරපුරු සිදු කළ කැපවීම් ද, ලබා දුන් දායාදයන් ද ඒවා හෙළිදරව් කරයි. පුරුක් බිඳ හැරීමෙන් අතීත පරම්පරාවන් පමණක් නොව වර්තමාන පරපුර ද විඳවන බව සාධනය කරයි. අතීතයෙන් කැඩී වෙන්වන්නට නොව සමෝධානය රැකිය යුතු යැයි ඒවා අපට ඉඟි කරයි.
‛පුනරාගමනය’ හා ‛දවස සොඳුරුය’ කෙටි කතා මුළුමනින්ම ෆැසිස්ට් යුද්ධයේ කුරිරු බලපෑම් පිළිබඳව කතා කරයි.
පොදුවේ ගත් කළ සෝවියට් දේශය තුළ සමාජවාදයේ ජයග්‍රහණ මුළුමනින් බෙදී නොගිය සැටි පිළිබඳව ද, ආයතන ගත පුද්ගලයන් සමාජවාදයේ නියම අරුත් දැන හෝ නොදැන, වැරැදි ලෙස ක්‍රියාත්මක කළ සැටි ගැන ද යම් ඉඟියක් කතා කීපයකින්ම අපට ලබා ගත හැකිය. පාරිසරික තත්ත්වයන් ඉදිරියේ, යහපත් න්‍යායයන් භාවිතමය වශයෙන් වැරැදී යන සැටි, ඒවායින් ඉගෙන ගැනීමේ හැකියාව අපට ලැබේ. එමඟින් අනාගත ක්‍රියාකාරකම්වලදී එවන් දුබලතා මඟ හැරීමට කුමන පියවර ගත යුතු දැයි සිතන්නට මෙම කෙටි කතා එක් අතකින් අපට බල කරයි.
එක එල්ලේ කියවාගෙන යා හැකි, කියවීමට රුචිය ඇති කරවන, ‛ස්මරණ’, මිනිස් අධ්‍යාත්මය සුවපත් කිරීම සඳහා ඔසු සොයන සෑම අයකු විසින් ම කියවිය යුතු ම පොතකි.